වැස්සෙන් පසු හිරු එළිය හොඳින් ඇති දිනවල, පාර අයිනේ.. මඩ ආශ්‍රිතව හෝ දිය සීරාමය ස්ථානයක බිම, බහුලව ගැවසෙන සමනලුන් ඔබත් දැක ඇතුවාට සැකයක් නැත.
සැබවින්ම, ඔවුන් ඇයි එහෙම? කුමක්ද කරන්නේ කියා මට මෙන්ම ඔබටත් සිතී ඇතුවාටද සැකයක් නැත.
එය හඳුන්වන්නේ Mud puddling ලෙසය. එය බොහෝ සමනලුන් තුල දැකිය හැකි චර්යා රටාවකි. මල් පැණි වලින් ලබා ගන්නා පෝෂ්‍ය පදාර්ථයන්හි කාබෝහයිඩ්රේට බහුලව අඩංගු වුවද, ලවණ අඩංගු වන්නේ ඉතා සුලු ප්‍රමාණයක් බැවින්.. සමනලුන්ගේ ලවණ පරිවෘත්තීය ක්‍රියාවලීන් සඳහා ප්‍රමාණවත් ලවණ ප්‍රමාණයක් ලබා ගැනීමට, ඔවුහු ලවණ සහ වෙනත් පෝෂණ සංඝඨක අධිකව අඩංගු මඩ, පළතුරු කොටස්, මළ අපද්‍රව්‍ය, මළකුණු සහ රුධිරය වැනි දෑ මත වසමින් ඒවා උරා බොයි. නමුදු එහිදී, එම ලවණ මිශ්‍ර ද්‍රවයන්හි අමතර ජලය බැහැර කිරීමේ සුවිශේෂී හැකියාවක්ද ඔවුන් සතුය.
පර්යේෂණ වාර්තාවනට අනුව මෙම ක්‍රියාවලිය බහුලව සිදු කරනු ලබන්නේ පිරිමි සමනලුන්ය. මන්ද යත් පිරිමි සමනලුන් හට තම විරුද්ධ ලිංගිකයන් ආකර්ශනය කර ගැනීම සදහා, වැඩි ශක්ති ප්‍රමාණයක් වැය කිරීමට සිදුවන බැවිනි. තවද, ඉන් පසුව ලිංගිකව එක් වීමේදී ශුක්‍රාණු සමග යම් ලවණ ප්‍රමාණයක් පිටවීමද ඊට හේතුවක් වේ.
සාමාන්‍යයෙන් එක් පිරිමි සමනලයකු, ගැහැණු සමනලුන් කිහිප දෙනෙකු සමග ලිංගිකව එක්ව නව පරම්පරාවන් බිහි කිරීමට කටයුතු කරයි. එමෙන්ම එම ලිංගික එක් වීමෙදි පිරිමි සමනලුන් විසින් පිටකරනු ලබන ලවණ ගැහැනු සමනලුන්ගේ ශරීරගත වීම නිසාවෙන් ඔවුනට අමතර ලවණ ප්‍රමාණයක්ද ලැබේ.
කෙසේ හෝ ඔවුහු රංචු පිටින් එක් ස්ථානයකට රැස්ව Mud puddling කරනුයේ වැඩි ආරක්ෂාවක් තකා වීමද සුවිශේෂී කරුණකි.
මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුල බහුලවම දක්නට ලැබෙනුයේ ලා කහ පැහැයක් ගන්නා කුඩා සමනල් විශේෂයක් වන Albert Ross හි වන අතර Common Jay, Common Mormon, Common Crow, Common Gull වැනි සමනලුන්ද බොහෝදුරට මෙම ක්රියාවලියෙහි යෙදෙනු සුලභව දැකගත හැකිය. තවද සමනලුනට අමතරව, බත් කූරන්, මැස්සන් වැනි කෘමි විශේෂද මෙම ක්රියාවලියෙහි යෙදෙනු අනිවාර්ය වේ…
Leave a Reply