සඳ එළියේත් වැහිබර අහසේත්; රැය පහන්වන තුරා… 3; ‘ඇල්ෆා’ වරුන්ගේ නකල්ස් මෙහෙයුම!

වෙල් යාය පාළුවෙන්!

 

යන නින්ද උපරිමයෙන්ම ගියත් කොල්ලො සෙට් එක ගැන ඔලුවෙ තියාගෙන නිදාගත්ත නිසා මටයි හරාටයි දෙන්නටම උදෙන් ඇහැරුනා. මතකෙ හැටියට වෙලාව 6ට විතර ඇති. ඇහැරුණ ගමන් අපි කලේ මිදුලට බැහැලා බලපු එක, පාන්දර වෙන්නවත් වැහැලද කියල. ඇත්තටම එහෙම ගතියක් තිබ්බෙ නෑ. ඒ නිසා නැන්දා හදපු තේ පෝච්චියයි, කෝප්ප ටිකයි අරගෙන අපි සනික ඇද්දා සයිට් එක පැත්තට.

ඒ යද්දි බොලේ… ඈතට පේනව කියන්නකො කොල්ලො සෙට් එකම.. තැන් තැන්වල රෙදි වනලා මූණ කට හෝදගෙන බඩු පැක් කර කර ඉන්නව. අරූටයි මටයි හිතා ගන්න බෑ.

“ඒ… මුන් නම් එසේ මෙසේ එවුන් වෙන්න බෑ බං. බලාංකො ඊයෙ අර තෙත ගොඩේ චොර වෙලා චොර වෙලා.., අද උදේ ඉන්න හැටි මුකුත් වුනේ නැති ගාණට”

“ඒක තමයි බං මාත් බැලුවෙ. හැබැයි අවංකයෙන්ම කොටියා, සෙට් නං සෙට්. මේ වගේ උං 100ක් නෙවෙයි, 200ක් ආවත් ඕකේ බං. බලාංකො ෆුල් බොක්කනෙ. එකෙක්වත් එක වචනයක් කිව්වද කියාංකො මෙච්චර වෙලා. අරක අඩුයි මේක අඩුයි කියලවත්!”

“සිරාවට බං…”

කතාවෙන් කතාව අපි එයාලා ලඟටම කිට්ටු කරලා. ඒ යනකොට ඈතින් ඇහෙනව! “තේ එනවෝ…”

පෝච්චිය කෑම්ප් සයිට් එකෙන් තිබ්බ අපි කෙලින්ම කිට්ටු කලේ ඔය පැත්තට. මොකද ඒ පැත්තෙන් ඇහුනනෙ පොඩි බොංගො ගිටාර් පාරක්. ඒත් ගිහින් බලද්දි.. බොංගො ගිටාර් පාරක් විතරක් නෙවෙයි බෝතල් පාරකුත් යනව. බැලින්නම් කලින් දවසෙ ඉතුරු වෙච්ච ඒවා. පාන්දර 5 වෙනකම් බීලා පැය 2ක් නිදාගෙන, ආයෙ බොනවලු. ඒක ඇහුවට පස්සෙ නම් මෙග කකුල් දෙකත් එක්ක හිරි වැටිලා ගියේ.

කොහොම හරි ඉතින් කොල්ලො සෙට් එක බෝතල් ටික ඉවර කරලා ගියා නාන්න. ඒ අතරට නොබීපු සෙට් එකද කොහෙද ක්‍රිකට් මැච් එකකුත් ගැහුවා කුඹුරෙ. වැඩේ කියන්නෙ කට්ටිය නාගෙන එද්දි මාමා ඇවිල්ලනෙ රා සමඟ උදේ කෑම අරගෙන.

අවංකයෙන්ම, එච්චරයි මතක! රොටියි, චිකනුයි එක්ක රා පොල්කටු එහාට මෙහාට යනවා… සිං සිං ගාලා. මගෙ හිතේ ලීටර් 20 ඉවර වෙන්න විනාඩි 10ක් යන්න නැතුව ඇති. ඊටත් පස්සෙ! කට්ටිය පටන් ගත්ත කෑමක්.. අන්තිමට දෙපාරක් ගිහින් ගෙනාවා කියන්නකො බතුයි මඤ්ඤොක්කයි. හැබැයි ඉතින් සෙට් එකට හිතට සන්තෝසයි. ඇයි ඉතින් දෙන එක දුන්නනෙ මදි නොකියන්න. ඔය අතරට හරයි මායි පට පට ගාලා ටෙන්ට් ටිකත් අකුල ගත්තා. මොකද පොද වැස්සක් දීලා ආයෙත් වැහි අඳුර අල්ලන ලයින් එකක් තිබ්බෙ. කෑම්ප් සයිට් එකත් පුලු පුලුවන් විදියට සුද්ද කරපු අපි දෙන්න ටෙන්ට් අරගන සනික මාමලගෙ ගෙදරට ගියේ.. ලෑස්ති වෙලා කට්ටියත් එක්කම යන්න හිතාගෙන. මොකද යන ගමන් එයාලව සේර ඇල්ල බලන්නත් එක්කගෙන යන්න තිබ්බනෙ.

ඒ විදියට, ගෙදරට ගොඩවෙලා නා කියාගෙන බත් ටිකකුත් කාලා අපි මාමට සමු දෙනකොට වෙලාව දවල් 2ට විතර ඇති. කොල්ලො සෙට් එක ටෙන්ට් බඩු ටික බස් එක ලඟට ඇදල දුන්න නිසා හරාටයි මටයි යනකොට ඇත්තටම පොඩි නිදහසක් තිබ්බා. ඒකට ස්තූතිවන්ත වෙන්න ඕන ඉන්දික අයියට. මොකද එයා, එයාගෙ ගතිගුණ හැකි තරමින් ඇල්ෆා ටීම් එකේ හැමෝටම පුරුදු කරලනෙ.

සුපුරුදු පරිදි නැන්දගෙයි මාමාගෙයි, උදව්වට ආපු සියළු දෙනාගෙමයි කකුල් අල්ලල වැඳල ගමෙන් පිටත් වුනාට මොකද ඈත වෙල් යාය දකිද්දි නම්, එදත් මට ඇති වුනේ දරා ගන්න බැරි දුකක්. ඒ වෙලාවට ඉතින්… හිතින්ම කියනව.. “යනව නෙවෙයි කඳු යායේ, ගිහින් ආයෙ එනව”

පොරොන්දු වෙච්ච විදියට අපි ඇල්ෆා ටීම් එක සේර ඇල්ලටත් අරගෙන ගියා. ඒත් අවාසනාවට එතනට යද්දි නම් හැන්දෑවෙ අඳුර මුලු වටපිටාවම ගිලගෙන. අමාරුවෙන් අමාරුවෙන් කට්ටියගෙම ෆොටෝ ටිකකුත් ගහපු මම, ලොකු හුස්මක් හෙලලයි සේර ඇල්ල ගාවින් බස් එකට නැග්ගෙ. වචනෙන් නොකිව්වට ඇත්තටම මට කට්ටිය අමතා කියන්න උවමනාවක් තිබුන, “දාලා යන්න හිත දෙන්නෙ නෑ බං. මොකද උඹල වගේ සෙට් එකක් ලේසියකට සෙට් වෙන්නෙ නෑ. කමක් නෑ, උඹල ආවත් නැතත් මම එන්නම් ලඟදිම උඹලව බලල යන්න”…

පුර හඳ එදත් මුල අහසම එළිය කරලා. ඒ අතරට තරු ටිකකුත් අහස හැඩ කරන්න හඳත් එක්කම එකතු වෙලා. අඳුරු වළා කැටයම් අතරින් අහස දිහා බලද්දි දැනෙන්නෙ අමුතුම ලෝකෙක ඉන්නව වගේ. ඊටත්, හඳ එළියට දිලිසෙන මානිගල, ඊට එපිට නකල්ස් කඳු යාය…! රිවස්ටන් මුදුනත් මීදුමෙන් වැහිලා නිකම් සුදු සාරි අතුරල වගේ..

ඔය අස්සෙ බස් එකේ සිංදුවක් දෙකක් යන්නත් පටන් ගත්තා. අපිට හිතා ගන්න බැරි වුනේ ඇයි ඒ කියලා. බැලින්නම්! කොහේදෝ හැංගිලා තිබ්බ අරක්කු බෝතලයක්… කඩලා, පළවෙනි ෂොට් එක දාගන්න අපි දෙන්නටයි ආරාධනා…

 

‘ඇල්ෆා’.. ඇත්තටම,  ස්තූතියි ඒ ආරාධනාවට!
අවංකයෙන්ම, මුණගැහුනේ නෑ මෙතෙක් මා හට
සෙට් එකක්.. ගන්න, ඒ විදියෙන් උපරිමයට
අහිංසක ෆන් එකක් සොමියෙන් හැමදාටම…

 

නිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>