සඳ එළියේත් වැහිබර අහසේත්; රැය පහන්වන තුරා… 2; ‘ඇල්ෆා’ වරුන්ගේ නකල්ස් මෙහෙයුම!

වැස්සත් පදිරි වුනි!

 

උඩ ගිහින් ඇහැරුනේ.. බෙලෙක් පිඟානක් වැටෙන සද්දෙට.

“යකෝ 6.30යි වෙලාව. හරා නැගිටපං බං. සයිට් එකට තේ ගෙනියන්නත් තියෙනව.”

ආත බූත වෙලා නැගිටපු අපි දෙන්නා කොහොම හරි විනාඩි 15ට 20ට තේ පෝච්චියයි, කෝප්ප ටිකයි ලෑස්ති කරගත්තා. ලෑස්ති කරගෙන 7 වෙද්දි, පිටත් වෙන්න ඔන්න මෙන්න. එතකොටම එනව කියන්නකො සයිට් එකේ ඉඳපු යාළුවො 6, 7 දෙනෙක් අපේ පැත්තට.

“මචං කට්ටිය නැගිටලද?”

“හ්ම්ම්… නැගිටල බං එහෙන් මෙහෙන්. හැබැයි තාම ඩෝප් සීන් එකේ. ලෑස්ති වෙන ලෑස්ති වෙන එකා මෙහෙට එන එන ගතියක් තියෙන්නෙ.”

“එහෙමද. එහෙනම් අපි තේක මෙහෙන් තියල යන්නම්. ගිහින් පණිවිඩේ දෙන්නම්. උඹලා තේ බීලා ලෑස්ති වෙයන්කො හයික් එක යන්න. කට්ටියම ආවාම උදේට කමු බං”

“හරි හරි බං. ඒක අවුලක් නෑ. එකෙන්ම, එළ ආ… උඹල ගිහින් වරෙන්”

සුප්ප කොල්ලො සෙට් එක. ආයෙ, ආපු දවසෙ ඉඳන් එයාලගෙ ගම වගේ. තනි තනියෙන්ම තමන්ගෙ වැඩ. අර කිව්වත් වගේ අපි කෑම්ප් සයිට් එකට යද්දි බහුතරයක් ඩෝප් සීන් එකේ. හැබැයි මූණ කට හෝදගෙන ලෑස්තිත් වෙලා. තව සෙට් එකක් මගටත් ඇවිල්ලා. ආයෙ මොනවද ඉතින්? “තේයි, කෑමයි ලෑස්තියි…” පණිවුඩේ කට්ටියටම දුන්නු අපි, අධි මාත්‍රාවෙ ඉඳපු එකම අයියව ගොඩ ගන්නයි ට්‍රයි කලේ. හැබැයි බැරි වුනේ නෑ. මොකද එයාගෙ යාළුවො 4, 5 දෙනෙකුත් අපිට සපෝට් එක දුන්නනෙ. අන්තිමට එයාවත් ගොඩ අරගෙන ටෙන්ට් ටිකත් බාලා අපි ආවා මාමලගෙ ගෙදරට.

ඒ එද්දි කට්ටිය! තේ බොනව නෙවෙයි කෑමත් කනව. හැබැයි ඉතින් එක අතකට ඒකත් හොඳයි. මොකද සනික ලෑස්තිවෙලා හයික් එක යන්න පුලුවන්නෙ. එහෙම හිතල, අන්තිමට ආපු සෙට් එකත් කෑමට යවපු හරයි මායි පට පට ගාලා ලෑස්ති වුනා. ලෑස්ති වෙලා එළියට බහිනකොට… දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ, මිදුල මැද්දෙ මහ සද්දෙට නන්ස්ටොප් එකක්. ඒ අස්සෙ මාමත් දුවගෙන එනව අපේ පැත්තට.

“පුතා මාර කේස් එකනෙ වුනේ. අර උදේ ඉල්ලපු රා ටික මම නිකමට දුන්නා කට්ටියට. ඒක ගැහුවා විතරයි කට්ටිය ආයත් සිංදු කියන්න පටන් ගත්තා කියන්නකො”

“ඉතින් හරිනෙ මාමා. දැන් කරන්න දෙයක් නෑ. ඉන්නකො ඉන්කො මම ඉක්මනට ගමන පිටත් කරන්න”

බත් කටවල් 5, 6ක් එක ගැම්මට ගිලලපු මම වතුර බෝතලයකුත් දාගෙන මිදුලට බැස්සෙ වැඩේ ඉක්මන් කරන්න. හැරත් සිංදු කේස් එක වගේද එන්න හැන්දෑ වුනොත්. මම කෙලින්ම ගියා ඉන්දික ලොක්කා ලඟට.

“මචං, කට්ටිය වතුර බෝතල් එහෙම අරගෙන ලෑස්ති වෙලා නේ ඇත්තෙ. අපිට දැන් යන්න වෙලාව හරි”

“ඔව් ඔව් බන්. කට්ටිය ෆුල් රෙඩි. ඉඳපන්කො මම කියන්න.” ඉන්දික ලොක්කා පිරිස අමතා කතාවකට මුල පිරුවා. “ළමායි… මේකයි! දැන් අපි පිටත් වෙන්න හදන්නෙ. මගදි වතුර අඩුපාඩු සෑහෙන්න එනව. ඒ නිසා වතුර ගන්න. ඒ විතරක් නෙවෙයි ඔන්න අපේ බුද්ධික ඉස්සරහ සෙට් එකත් අරගෙන වැඩේ පටන් ගන්නව. කට්ටිය මග ඇරගන්නැතුව එන්න ඕන හරිද?”

ලොක්කා කිව්වොත් ඉතින් සෙට් එක එකෙන්ම. ඒත් මුලින්ම මම ගියේ නෑ. ලොක්කයියව තමයි යැව්වෙ. මොකද කවුරු හරි මග ඇරුනොත් වගකීම ගන්න අපේ කෙනෙක් පිටිපස්සෙන් එන්න එපැයි.

කොහොම හරි ගමනෙ මුල් ටික නම් කට්ටිය අඩියට දෙකට ඇද්දා. කොටින්ම කියතොත් වල්පොලමුල්ලට හැරෙන හංදිය වෙනකම්ම. හැබැයි අමාරුව පෙන්නුම් කලේ එතනින් එහාට. මොකද ඒ වෙද්දි ගෙනාපු වතුර වලින් බාගෙට බාගයක් ඉවර වෙලා. ඇයි කලින් දවසෙ ඩෝප් සීන් එකේ, කට්ටිය ෆුල් ඩ්‍රයිනෙ. ඉතින් එතන ඉඳන් වල්පොලමුල්ල පාරෙ කන්දට යනකම්ම කට්ටිය බෙරිහන් දි දී ගියේ. “බුදාම්මෝ… තව නම් බැරියෝ! අයියා, වතුර ඕනා…”

කෙල්ලො කොල්ලො බේද නැතුව හෙන උද්ඝෝෂණේ.

“ඉන්නකො ඉන්නකො. මෙතනින් බැහැපු ගමන් වතුර දෙන්නම්. තව කිලෝමීටරයකවත් නෑ. මේ ටික කොහොම හරි යා ගමුකො”

“හම්ම්… තව කිලෝමීටයක්?

අවුලක් නෑ, එකෙන්ම එකෙන්ම. කෝ කට්ටිය ගැම්මෙන්, නැගිටපල්ලා.. යමල්ලා…” එක කොල්ලෙක් සෙට් එකට අමුතු ගැම්මක් වුනා. හැබැයි ගැම්ම වෙලා… පස්සෙ මගෙන් අහනව, “අයියෙ වතුර තියෙයි නේද? නැත්නම් මුන් මාව මරනව ගියපු ගමන්”

මට නේද, හිනා කියන්නේ.. “ තියෙනව තියෙනව මල්ලි. බඩු ෂුවර්. යමංකො” කොල්ලගෙත් හිත හදලා පිටත් කරපු මම ටික වෙලාවක් ඉඳලා අන්තිම සෙට් එකත් ආවට පස්සෙ තමයි ගමන ආයෙ පටන් ගත්තෙ.

ඊට පස්සෙ ඉතින් දන්නැද්ද, වල්පොලමුල්ල වැව් පිට්ටනියට ගිහින් එතනත් ටිකක් නතර වෙලා, ෆොටෝස් එහෙමත් ගහලා, ගමේ ගෙදරට ගොඩ වෙලා ඒකත් බලාගෙන, වෙල පැත්තට ගිහින් මුළු කඳු පන්තියෙම සුන්දරත්වයත් විඳලා, කට්ටියට නක්ල්ස් ගැන පොඩි ලෙක්චර් එකක් එහෙමත් දීලයි කිට්ටු කලේ ලොක්කයිය හොයා ගත්ත වතුර උල්පත පැත්තට. සැහ්! යද්දි සෙට් එකෙන් බාගයක් විතර එතන. වතුර බොනවා, පුරවනවා, අායෙ බොනවා වැඩ කෝටියයි. ඊටත් මම ගියාම, “රත්තරං අයියෙ පිං ඈ මෙව්වා, පිං!” පින් දි දී වතුර බොනව. මටත් නිකම් මොකක්ද වෙලා ගියා ඒ පාර නම්.

විනාඩි 15ක 20ක වතුර බ්‍රේක් එකකට පස්සෙ අපි ආයෙත් ගමන පටන් ගත්තා. ඒ පාර තිබ්බෙ ආපු පාර දිගේම ගිහිල්ලා වල්පොලමුල්ලට හැරෙන හංදියෙන් දකුණට දාලා මානිගලට යන්න. ඒත් කොහෙද, කට්ටියගෙ අරපිරිමැස්සම නිසා.. මානිගලට හැරෙන හංදිය වෙද්දිම ආයෙත් වතුර ඉවරයි.

“දැන් නම් කරන්න දෙයක් නෑ මචෝ. ගමනට තව තියෙන්නෙත් කිලෝමීටරයක වගේ දුරක් නිසා හිත හදාගෙන අදිමු. මොකද ඊට පස්සෙ කෙලින්ම ගෙදරටනෙ යන්න තියෙන්නෙ”

සෑහෙන වෙලා තුම්මං හංදියෙ ඉඳපු සෙට් එක නැගිට්ටෙ කොහොම හරි ඉන්දික ලොක්කත් එතනට ආවට පස්සෙ. ඒකත් ලොක්කගෙ වචනෙ බැස්සනෙ ‘කවුරුත් ආපහු හැරෙන්න එපා කියල’. ඊට පස්සෙ ඉතින් ෆුල් ගැම්මට කට්ටියම මානිගල මුදුනට! එතනට ගියාට පස්සෙ.. කවුරුත් නෑ වතුර ගැන හාන්කවිසියක්. මගෙ හිතේ විව් එකට වහ වැටිලා වෙන්න ඕන. ගලේ ගැට්ටට වෙලා එක දිගට ෆොටෝ ගහනව. සෙල්ෆි, ඩීඑස්එල්ආර්. ඒ අතරට ගෘප් ෆොටෝ, කපල් ෆොටෝ, උඩ පැනපුවා, අත් උස්සපුවා.. හප්පොච්චියෝ… වැඩ කෝටියයි.

ඔය විදියට ඉතින් පැය බාගයකට එහා පැත්තෙ කට්ටිය ගල උඩ. ඈත මීදුමෙන් වැහිච්ච රිවස්ටන් කඳු පන්තියයි, ඊට පැත්තකින් තියෙන සුදුගල, වේරගල, ගෝනගල, යකින්නිගල කඳු පන්තියයි ඈතින්ම පේන තුන්තිස්ගල, ලකේගල කඳු ටිකයි… ඇත්තටම හරිම ලස්සනයි. ඒ අතරට වැස්සක පෙරනිමිති කිය කිය වැහිළිහිණියො රංචුවකුත් අහස පුරා.. කළු උකුස්සො දෙන්නෙකුත් හිටියෙ මානිගල හෙලේ කැරකි කැරකි දඩයමක් හොය හොයා. හෙළට එබිලා බැලුවාම කැළෑ මායිමෙන් ගලන තෙල්ගමු ඔයයි ඊට මෙපිට කුඹුරු යායවල් ටිකයිත් හරි අපූරුවට පේනව. එහෙම පෙනෙද්දී… අපි කාට වුනත්, වතුර තියා කෑමවත් මතක් වෙනවද කියන්නකො.

කොහොම හරි ඉන්දික අයියගෙ කීමට ඔන්න කස්ටිය ආපහු යන්න ලෑස්ති වුනා. හැරත් ලොකු වැස්සක සලකුණුත් එන්න එන්නම කිට්ටු කරන ගතියක්නෙ තිබ්බෙ. අනික පෝය දවසනෙ. කොච්චරවත් ෂුවර් නෑනෙ. පැය බාගෙට වගේ මාමලගෙ ගෙදරට බැහැගත්ත කට්ටිය කෙලින්ම ගියේ කුස්සියට. ඇයි අප්පේ උදේ 9ට කාපු ගමන්නෙ. හැන්දෑවෙ 4ත් වෙලා නිසා යන යන කෙනා බත් බෙදාගන්නව. ඊට පස්සේ.. ගණන් මිනුම් නෑ. දෙසනව දෙසිල්ලක් පිඟාන දෙක ගාණෙ. වෙලාවට මාමා ටිකක් වැඩිපුර උයල තිබ්බෙ. ඒත් අන්තිමට ලොක්කටයි පවුලේ උදවියටයි එහෙම කෑම ටිකක් මදිවුනා. ඒත් ලොක්කගෙ ජෙනුඉන් ගතිය කියන්නෙ එළවළු 2ක් එක්ක කාලවත් එක වචනයක් කිව්වෙ නෑ කියන්නකො. අනේ මන්දා මහ පුදුම ගතිගුණ තියෙන මනුස්සයෙක්.

කාලා ඉවර වෙලා ඉස්සරහ හට් එක යට රෙස්ට් කරන්න ගත්ත යාළුවො සෙට් එකෙන් ටික දෙනෙක්ට ඕන වෙලා තිබුනා නාන්න යන්න. ඒ නිසා මම මාමව ලෑස්ති කලා ඒ කට්ටියත් එක්ක ගඟට යවන්න. මොකද හදිස්සියෙවත් න නා ඉන්නකොට ගඟේ වතුරවත් වැඩි වුනොත් බලන්න කවුරු හරි ඉන්න එපැයි. ඒත් ඉතින්… එයාලා ගියපු තැන ඉඳන් තමයි කතාව තරමක් කණගාටු දායක වුනේ. කිව්වට විශ්වාස කරන්න යාළු සෙට් එක පිටත් වෙලා පැය බාගයක් ගියේ නෑ පටන් ගත්ත කියන්නකො අර, එච්චර වෙලා ඇද ඇද ඉඳපු මහ වැස්ස. ඒකත් එසේ මෙසේ නෙවේ උපරිම ධාරාණිපාත එකෙන්. හප්පේ… මගෙ පපුව! ගැහි ගැහි තිබ්බෙ, මොන වින්නැහියක් වෙයිද කියල. ඊටත් වැස්ස පැය බාගෙකට එහා පැත්තෙ ඇල්ලුවත් එක්කනෙ. හරියන්නෙම නැති තැන තමයි, හරයි මායි හරයි තීරණය කලේ, පොඩි අඩුවක් අල්ලපු ගමන් කෑම්ප් සයිට් එකට යන්න. ගිහින් බලන්න මොකද කරන්නෙ කියල. හැරත්…

‘ටෙන්ට් එහෙමත් අනිවා තෙමිල ඇත්තෙ. ඒවයෙ ඉන්න තියා හිතන්නවත් බැරුව ඇති.’ අහස පොළව ගැටලන කල්පනා ලෝකෙක ඉඳපු මම එක පාරටම තිගැස්සුනා. “කොටියා, වැස්ස අඩු කලා. යමං සනික” පිළිකන්නෙ ඉඳපු හරා මං ලඟට දුවගෙන ආවෙ පුංචි බලාපොරොත්තුවකුත් එක්කමයි.

ඝන අඳුරෙම අපි දෙන්නා.. කැළේ මැදින් කෑම්ප් සයිට් එකට! වෙලේ වැටි වැටි, මී හරක් රංචු මග ඇර ඇර, ඇල පාරවල් වල වැටීගෙන, ඒ මදිවට අන්ධකාරෙ නිසා ඉසව්වත් වැරදිලා… කොහොම කොහොම හරි හෙන වටයක් තමයි අපි එතනට යා ගත්තෙ. ඒ යද්දි! හපොයි දෙයියනේ… වෙන්න තියෙන ඔක්කොම වෙලා… සයිට් එක, එකම වතුර ගොඩක්. යාළුවොත් ගොඩක් තෙමිලා. එයාලගෙ බඩුත් තෙමිලා. ඇත්තටම ඒ වෙලාවෙ නම් මම අසරණ වුනා කියන්නෙ, කර කියාගන්න දෙයක් නැත්තටම නැතුව. “ඒ මොකෝ බං කරන්නෙ?” ලඟ ඉඳපු එකම එකා, හරාගෙන් මම නිකමට ඇහුවා.

“කරන්න දෙයක් නෑ බං. කට්ටිය එක්කගෙන ගිහිල්ලා කන්න දීලා පුලුවන් විදියට මාමලගෙ ගෙදර ඉන්න සෙට් කරමු. මදි පාඩු කට්ටියට ඒ ලඟ පාත ගෙයක් සෙට් කරමු.”

“එකෙන්ම, ඒක නම් ඕකේ. ඒත් කොල්ලොන්ගෙ ෆන් එක. බාබකියු එක. බෝතල්… සිංදු සෙට් එක. චැහ්! ගිණිමැළෙත් මස්තබාල්දු වෙනව බං එ්කෙන්”

“කරන්න දෙයක් නෑ බං. තැනේ හැටියට ඇණේ ගහන්න එපැයි දැන්.”

“හ්ම්ම්.. එහෙනං එහෙමවත් කරමු.

ෂික්!, ආයෙත් පටන් ගන්න සීන් එකක් බං තියෙන්නෙ”

අපි, තීරණයකට එන්නත් කලින් ආයෙත් පොද අල්ලල වැස්ස පටන් ගත්තා. කරන්න දෙයක් නැතිම තැන මම ගෑණු ළමයි ටිකයි ගෙදර ඉන්න කැමති කොල්ලො සෙට් එකයි අරගෙන හරාව පිටත් කලා. පිටත් කරලා ගියා ඉන්දික අයියව හොයාගෙන. මොකද එයාට විස්තරේ කියල තිබ්බාම ආපහු එද්දි අනිත් සෙට් එකත් එක්ක ලෑස්තිවෙලා ඉඳීවිනෙ ගමට යන්න.

පොද වැස්ස අතරෙ යාළුවො සෙට් එකෙන් අහගෙන මම බොහොම අමාරුවෙන් තමයි ලොක්කගෙ ටෙන්ට් එක හොයා ගත්තෙ. ඒකත්! හොයාගෙන එතනට යද්දි මෙන්න බොලේ පොර ටී ෂර්ට් එකකින් ඇතුල පිහිදානව!

“ඉන්දික අයියෙ.”

“ඔව් මචං”

“ඕක ඔහොම්මම තියල යං අපි ගෙදට්ට, කට්ටියත් අරගෙන. මම වැඩිපුර ගෙයකුත් ඇරේන්ජ් කරලා තියෙන්නෙ. ගිහිල්ලා කාලා.. නිදාගන්න සෙට් එක නිදාගන්න යවල අපි දාමු ජෝගියක් මාමලගෙ ගේ පිටිපස්සෙ. මාමත් කිසි අවුලක් නෑ වැඩේට”

“ම්ම්… මං නං හිතන්නෑ බං අපේවුන් එයි කියල. මොකද මුන්ට අව්ව වැස්ස කියල නෑ. උඹ තාම දන්නෑනෙ කස්ටියගෙ හැටි. ටිකකින් ඇවිල්ල බලාංකො. වැස්ස නෙවේ… මොක ආවත් බෝතල් ටික හිස් වෙයි ගාණට. හොඳම වැඩේ තමයි උඹ ගිය සෙට් එකට කන්න බොන්න දීලා මෙතනට බයිට් ටිකයි බත් පාර්සල් ටිකයි හදල එවන එක. වැස්ස දරුණුම වුනොත් විතරක් අපි විකල්පයකට යමු.”

“එහෙමද?” ලොක්කා එන්නෙම නැති පාටක් තිබුනෙ.

“එහෙනම් මම ගියපු සෙට් එක බැලන්ස් කරලා බාබකියු එක දාන්න පටන් ගන්නම්. හැබැයි අවුලක් ගන්න එපා අයියෙ, වැස්ස නිසා ගිණිමැලේ කරගන්න අමාරුයි හොඳේ”

“හරි හරි බං ඒවා ගණන් ගන්න එපා. උඹ අර වැඩේ බලපන්කො.”

වචනෙ ආවට පස්සෙත් විනාඩියක් දෙකක් කල්පනා කරලයි මම පිටත් වුනේ. හැබැයි මග දිගටම මට හිතුනෙ.. ‘යකෝ මුං වගේ සෙට් එකක්’ කියල. බාග වෙලාවට ලොක්කා, කොල්ලො ටිකට ආමි ට්‍රේනින්ග් එකක්වත් දීලද මන්දා. ඇයි අප්පා, 6 ඉඳන් වැටෙන වැස්ස 8 වෙද්දිත් එක දිගට වහිනව, ඇඳන් ඉඳපු ඇඳුම් තෙත් වෙලා, ටෙන්ට් වතුරෙන් පිරිලා… කට්ටිය නෑනෙ කිසිම පසුබෑමක්.

මඩ නාගෙන ගෙදරට ගොඩ වුනාට මොකද මට, කලබලේ නිසා හරි හැටි සිහියක් තිබ්බෙ නෑ. කෙලින්ම ගියේ කුස්සිය පැත්තට. ‘හරි ලිපක් තියෙනව, හිස්! අඟුරු ටිකත් හොඳ ගාණට’.

“හරා වරෙං සනික. බාබකියු ටික දාන්න ඕන. මාමා, බඳින්න ලොකු බත් 40ක්. එයාලා එන්නෙ නෑ. අපි බඩු ටික සයිට් එකට යවන්න ඕන.”

ලොකු මිෂන් එකක්! ‘පාර්ටි ආතල් එකේ ගැම්මට ඉන්න කොල්ලො සෙට් එකට මම මගේ උපරිමයෙන්ම දෙන්න ඕන. නැත්නම් මේ වෙලාවෙ මගෙන් වැඩක්ම නෑ’ මගේ ටාගට් එක වුනේ එච්චරයි.

ගිණි ගහන ලිපේ මස් තොග ගණන් පිච්චෙන්න පටන් ගත්තෙ හිතා ගන්නවත් බැරි තරම් වේගෙන්. ඒ අතරට කුස්සියෙ ඉඳපු නැන්දලා හුරේ කියල බත් පාර්සල් ගහනව. උහුලන්න බැරි බඩගින්න නිසාද කොහෙද ගෙදරට ආපු යාළුවොත් එක එක්කෙනා ඇවිල්ල හෙමින් සැරේ බත් බෙදාගෙන තලු මරනව. හ්ම්ම්… ඇත්තටම වැඩේ හිතපු තරම් ලේසි නෑ. ගල් අඟුරු රස්නෙට හරාවයි මාවයි පිච්චිලා. ඇස් එහෙමත් ගිණි බෝල පාටට.. දුම් වැදිලා කඳුලු ගලනවා. ඇයි ඉතින් කිලෝ 15ක මස්නෙ. හැබැයි ඉතින් ගේම අත් ඇරියෙ නෑ. මාමලා බත් ටික ගහල ඉවර වෙද්දි අපි මස් වලින් එක බාල්දියක් පුරවලා. වෙලාවට ඒ වෙද්දිම සයිට් එකෙන් යාළුවො 2න්නෙකුත් ආවෙ කෑම කාලා බයිට් ටික අරගෙන යන්න. ඉතින්.. එයාලගෙ අතේ ඒ වෙද්දි ලෑස්ති කරල තිබ්බ බයිට් බාල්දියයි බත් බෑග් 2යි යවපු අපි ආයෙත් බාබකියු වැඩේට බැස්සා. මොකද තව බයිට් බාල්දියක් යවන්න ඕනනෙ.

අනේ!, ඒ පාර නම් මහන්සියටම වැඩේ හෙමින් කෙරුනෙ. කොටින්ම කියනව නම් දෙවනි බයිට් බාල්දිය ලෑස්ති වෙද්දි රෑ 12ත් පහුවෙලා. ඊටත් ඒක ලෑස්ති කරපු ගමන් අපි දෙන්නා දිව්වෙ වතුර ටැංකිය ලඟට. දුවල ගිහින් දඩබඩ ගාලා මූණ හෝද ගත්තා. ඇයි අප්පේ ඇස් ඉවරයිනෙ. ඒ ගැම්මටම ඇඟපතත් හෝදගෙන කෙලින්ම ඇවිල්ල වාඩි වුනේ කුස්සියෙන්. උහුල ගන්න බැරි තරම් මහන්සියි! වැඩේ කියන්නෙ ඔය අතරටත් ආවනෙ තව යාළුවො 4දෙනෙක් කෑම කාලා යන්න. දෙයියන්ගෙ නාමෙට, උන් නම් දිවිය ලෝකෙම යන්න ඕන. අපේ තත්වෙ තේරුම් අරගෙන අනිත් බයිට් බාල්දියයි, පාර්සලයයි කෑම්ප් සයිට් එකට ගෙනියන්න කැමති වුනාට. අවංකවම, නැත්නම් අපි කල්පනා කර කර හිටියෙ කවුද යන්නෙ කියල. ඒ තරමට… පණ නෑ යාළු.

ඔය අතරෙ, මාර කේස් එක කියන්නෙ වැස්ස නෑනෙ ආගිය අතක්!

“අඩෙහ්, වැස්ස කෝ යකෝ…”

“හෑහ්!

හැබෑ නේන්නං. වැස්ස කීයටද බං පෑව්වෙ”

මාමත් ආවා කුස්සියට.

“මාමා! වැස්ස පායලනෙ.”

“ඔව්නෙ පුතා. දැන් පැයක් හමාරක් වෙනව.”

“නෑ… යකෝ. ඒ කියන්නෙ, වැස්සත් උන්ට පදිරි වුනා එහෙනම්?”

“එහෙනං එහෙනං. යක්කු වගේ කොල්ලො ටිකක් පුතා. උනුත් ඇරියෙම නෑනෙ.

හ්ම්ම්… හෙටවත් වාසියක් උනොත් හොඳා. මම යනව පුතා නිදාගන්න. දැන් 1ත් පහුනෙ. පුතාලත් කාලා මෙහෙන්ම නිදාගන්න. නැත්නම්, අහරෙ ගියොත් අද එන්න වෙන්නෙ නැතිවෙයි.”

“ඔව් මාමා. අපිත් කාලා මේ හරියෙම ඇල වෙනව. දැන් නම් හෙල්ලෙන්නවත් පණ නෑ”

ටික වෙලාවක් නිස්කලංකෙ, කල්පනා කර කර ඉඳපු අපි දෙන්නා බත් ටිකක් කාලා, තේකකුත් බීලමයි පැදුරට වැටුනෙ. ඒකත්… කැළේ බණ්ඩාර දෙයියන්ගෙ නාමෙන්, අපේවුන්ට කරදරයක් නොවේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරගෙන.

 

වෙල් යාය පාළුවෙන්… ඊලඟ ලිපියේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>