නකල්ස්, ‘තුන්තිස් ගල’ පාමුල රටා මවනා අපූරු අමුත්තා!; ‘ගොම්මන් ඇල්ල’… ගවේෂණය

දූවිලි ඇල්ලෙන් එපිට, කළුපාන උස් බිම් පසුකොට තුන්තිස් ගලට පිවිසීමටයි අපගේ බලාපොරොත්තුව. නමුත් සිදුවූයේ වෙනකකි…

දහවල් ආහාරයෙන් පසුව සියළු දෙනාම පාහේ තරමක අඩු වේගයකින් පා නගන්නට විය. එබැවින් පැය 4ක පමණ කාලයක් තුල අප රෑනකෙටූ පතන, නැතිනම් වකුටු පතන පසුකොට KMP වාඩියට පිවිසිය යුතුව තිබුණි.

එක් පසෙකින් ඉදිරි අහස අඳුරු කර අප ගමන අඩාල කිරීමට සැරසෙන කළු වළාවකි. අනෙක් පසින් හීන් සීරුවට වටපිටාව ගිල ගන්නා සැඳෑ අඳුරය. ගතෙහි විරිය අඩාල වෙමින් ගෙවෙන හෝරාවහි හිතෙහි විරිය ලා හෝ ගමන නිමාවට උත්සාහ කරන, අප කණ්ඩායමද ඇර නොතියා ගමනේය.

“මචං, 3ත් පැනල බං. අපි තාම පතනට ආවෙත් නෑ”

ඉදිරියෙන් සිටි මිතුරාගේ විඩා මුවින් වචන පෙළක් පිටවූයේය.

ඉන්, මොහොතක් ගත වන්නට නැත. කොළ අතු බිඳෙන හඬින් අප හිස මතට පාත් වූයේ, පෙර, අර අදිමින් සිටි මහ වරුසාවය.

“මංමුලා වෙන්නෙ නැතුව ගොඩ දාගන්න තිබ්බොත් ඇති”

මා සිත දෙගිඩියාවෙන් පෙළෙන්නට විය. ඒ අතරේ තුන්තිස් ගල තරණය කිරීමත් පසුදිනට යෙදීමට මා තීරණය කොට හමාරය.

ඔය පහරවල ජල කඳ ද කෙමෙන් කෙමෙන් රළු වන්නට විය. කෙසේ හෝ පෙර පින් බලෙන්, මහ ජල කඳ පහලට එන්නට මත්තෙන්, ඒ සියල්ල පසු කිරීමට අපට වාසනාව ලැබිණි.

ඉදින් අප ගොඩ වූයේ හතර කොණ සීත සුලඟින් පිරි වකුටු පතන වෙතය. එහි ඉදිරි පසින් යෝධ තුන්තිස් ගල අප දෙසට නෙත් යොමන්නට විය. තවත් පසෙකින්, ඈතට වන්නට මනරම් මීමුරේ ගම්මානයද දිස් වන්නට විය.

“පරක්කු නොවී අදිමු. වාඩිය මේ පැත්තට වෙන්න ඕන.”

කෙටි කතා බහකින් අනතුරුව අප යළිත් ගමනට මුල පිරුවේ… සිහින රොත්තක් සිතෙහි තබාගෙනය.

එළෙසින් අඩ හෝරාවක පමණ කාලයක් කණ්ඩායම වේගයෙන් ඉදිරියට ඇදෙන්නට වීමු.

නමුදු… ක්ෂණයකින් පාත් වූ රාත්‍රී අන්ධකාරයකි. අප මාර්ගය මුලුමනින්ම වැසී ගියේ සියළු දෙන හිත් භීතියට පත් කරවමිනි. කොටින්ම කිවතොත් එක කණාමැදිරි එළියක්වත් අපට ඉතුරු වූයේ නැත. එ අවසරයෙන් කූඩැල්ලන්ද, රිසි සේ අප දෙපා සිට ගෙල තෙක්ම ගොදුරු කරගෙනය.

සෙනවි මාමා ඉදිරියෙන්ය. මන්න පහරට කැපෙන ගස් අතු මතින් අපට මාවතක් එළිවෙමින් තිබිණි.

නමුත්, ගමනෙහි ඉමක් කොනක්, නැති බැව් නම් ඉර හඳ මෙන් විශ්වාසය.

එළෙසින්,

ඝන අන්ධකාරයේ ගත වූ අඩ හෝරාවකට ආසන්න කාලයකි. හිටි හැටියේම ගමන නතර විය.

“මාමා…”

මා කට හඬ අවදි කළේ තීරණයක් ගැනීමට කල් යල් සරි බැවිණි.

“පුතා… අපි මාර තැනක හිරවෙලානෙ”

පෝළිමේ පසුපසින්ම සිටි මම, ගාල කඩාගෙන ඉදිරියට වැදුණේ, ගිඩි ගිඩි ගා ගැහෙන සිතෙනි.

“මහ විසාල හෙළක්!

වතුර සද්දයකුත්?”

“මා පුතා මේක ලොකු දිය ඇල්ලක් නෙවැ. ආං… බලන්නට ටෝච් එළිය කෙලින්. තට්ටු දෙකකට වැටෙන්නෙ.

හපෙ හප්පෝ…”

ඒ, 2018 මාර්තු 2වෙනිදාය…

අප කණ්ඩායම ප්‍රථම වරට ‘ගොම්මන් ඇල්ල’ මතු කරගත් දාය. (ස්තූතිය: සෙනවි මාමා, සුදා මාමා, ලසා, සංක අයියා, චතුරංග අයියා, අපේ ඩිලා, තිස්ස, හරා, රංග, නුවන්, රජ්ජා, සසික, චමිඳු, ඩිලා, ප්‍රදීප්, කේපී., අකිල)

මේ… 2018 අප්‍රේල් 31වෙනිදාය…

අප කණ්ඩායම දෙවනි වරට ‘ගොම්මන් ඇල්ල’ තුරුලට ගිය දාය. (ස්තූතිය: සෙනවි මාමා, ලසා, කරා, අපේ ඩිලා, සසික, මැක්සි මල්ලි, සහන්, අසේල, ඔනල්, මංජුක, අමල්, දිමුතු)

සැබවින්ම එය මනරම් දිය ඇල්ලකි. සමස්ථයක් ලෙස ගත් කල, ගොම්මන් ඇල්ල තට්ටු 2කින් සමන්විතය. එහි උඩ තට්ටුව දළ වශයෙන් අඩි 20ක් පමණ වේ. පහත තට්ටුව අඩි 40ක් පමණ උසය. නමුදු ඇල්ලෙහි පළල අඩි 15, 20 අතර නිසාවෙන් ස්වභාවික පිහිනුම් තටාකයක් නොමැත.

කෙසේ වුවද ‘ගොම්මනේ’ සැබෑ සුන්දරත්වය අත් විඳීමට නම් ජල පහර සැර දාක මෙතනට කිට්ටු කළයුතු වේ.

ඒත් ඒකට ඉසව්වක්? පාරක්?  

ටිකක් ඉන්න යාළුවනේ…

අපි ලඟදීම ඔයාලවත් එතනට එක්කගෙන යන්නම්!

One Comment

  1. Dimu

    දීලා තියෙනවා හරිම ලස්සනයි තවත් මේ වගේ ලස්සන තැන් කියන්න නමුත් හොඳට මතක තියාගන්න මේ වලට යන අය මෙම පරිසරය විනාශ නොකරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>