දුම්බර මිටියාවතේ… 3; ගෝනගල මුදුනේ කඳවුරු බැඳි රැයක්! සුදුගල නිම්නය ඔස්සේ ඇටන්වල ගමට පාගමනින්

උඩ ගිහින් ඇහැරුණේ…

“ඒ, යමං. අන්න මාමා කන්ද උඩහ පැත්තට ඇද්ද” මලානික වේගෙන යන ඉර එළියත් එක්ක මගේ මූණට කවුදෝ එබිල. ඊටත් තණබිස්ස උඩ සැපට නින්ද ගියපු නිසා, ඉන්නෙ කොහෙද කරන්නෙ මොනවද කියලවත් හරි හැටි මතකයක් නෑ.

“හප්පොච්චියේ… කැලේ නේද ඉන්නෙ” දඩි බිඩියට ඔළුව උස්සපු මම ඇඟ මැලි කඩන ගමන්ම වගේ නැගිට්ට. නැගිටල අතේ දුරින් තිබ්බ වක්කඩෙන් මූණ පොඩ්ඩක් හෝද ගත්තෙ, ආපහු ගමනට පොඩි ගැම්මක් ගන්න කියල.

වැඩේ කියන්නෙ මට කතා කරපු යාළුවත් ඒ වෙද්දි ඈතට යනව. මහරත්මල් යාය අතරෙන් පේන නොපෙනෙන ගානට.

“ඔහොම හිටපියෝ… මාත් එනෝ!”

පිම්මට දෙකට කන්ද නැගපු මම කෙළින්ම උඩ, තැන්නෙ. ඒත් වැඩක් තියෙයි, තාමත් කට්ටිය ඕඩෙ පාමුලනෙ. මට තිබ්බෙ පැක් එක කරේ දාගෙන නඩේට සෙට් වෙන්න විතරයි. ඒත් ඉතින් මහන්සිය පොඩ්ඩක් ඇරෙන්නය කියල මම ගලක් උඩ වාඩි වුණා. ඔන්න ඒ අතරට තමයි මාමා තලා කොළ හපයකුත් කටේ දාගෙන හෙලේ ගමනට ඉස්සර වුණේ.

“එහෙනම් පුතා පරිස්සමට එන්නෝනි. මොකද පොඩ්ඩ මග ඇරුණොත්? දන්නවනෙ”

 

මෙච්චර වෙලාවකට මාමා, නොකිව්ව කතාවක් එළියට දැම්මේ…?

මගෙ හිතේ ගමනෙ අමාරුම ටික වෙන්න ඕන. මොක වුණත් අත අරින්නෙ නම් නෑ පුතේ. මමයි, ටොන්ගයියයි, බච්චයි වතුර උගුරක් එහෙමත් බීලයි වැඩේට බැස්සෙ. ඒත් කොහෙද, පුදන කොටම කාපි යකා කියල මෙන්න පටන් ගැම්මෙම ඝන ලන්දයි, තනි කන්දයි. වෙලාවට සත්තු ගියපු පාරක් තිබුණෙ. හැරත් මාමා හිටිය නිසා ඒ ගැන නම් බයවෙන්න දෙයක් තිබ්බෙ නෑ. ඒත් කටු කිතුල්, වේ වැල්, මා උස්සා ගස් අතරින් යද්දි පොඩ්ඩ ගෑවුණොත් විනාස වෙන නිසා බොහොම පරිස්සමට තමයි අඩිය තිබ්බෙ.

ඒ විදියට අපි සෑහෙන දුරක් ගියා. මගෙ හිතේ කිලෝමීටර බාගයකට එහා පැත්තෙ. ඒ ගිහින් මහ වංගුව ගන්න හම්බවුණේ නෑ මෙන්න, බෑවුම තියෙනව අංශක 90ට වගේ. හැරත් පොළවෙ එහෙම පිටින්ම තෙත පස. අඩියක් තිබ්බාම අඩි දෙකක් රූටනව. ඒකත් ගහක් අල්ලගෙන නැවතුණා කියමුකො, වම් පැත්ත දිහා බලන්න බෑ දවල්ට කාපුවගෙ ඉඳන් උගුරට එන්නෙ, ඒ තරමට හෙල. හිත හදාගන්න කියල තිබ්බ එකම දේ, ගස් අතරින් අහස පේන එක විතරයි.

“දැන්නම් ළඟයි වගේ, නේ බං. ඒත් මේ වංගු නිසා මාමලව පේන්නෙ නෑනෙ…”

වචන ටික ඉවර කරන්න හම්බවුණේ නෑ, මෙන්න ටොන්ගයිය එනව කඩාගෙන… රූටගෙන!

“ඒයි… ඒයි.. ඔය මුලේ එල්ලියං, මුලේ එල්ලියං”

“හපෝයි…

බලහං දසුන් මල්ලි ඕකට මොකද වුණේ කියල”

මගේ කටින් වචන පැන්නෙ අමු කුණුහරුපත් හොඳ හැටි එකතු වෙලා. ඇයි අප්පේ පොඩ්ඩ මිස් වෙලා හෙලට පතබෑවුනා නම්… ඉඳල හමාරයි.

 

අඩියට දෙකට මාත් එතනට කිට්ටු කළා.

“මොකෝ බං ටොංගයියෙ උනේ?”

“අරුං ගිහිං, පාර එහෙම පිටින්ම හෑරිලා බං. පස් කඩාගෙන පල්ලෙහාට එනව. ආං… අර පේනවද? එතන මුලක්වත් නෑ අල්ල ගන්න”

අමාරුවෙන් නැගිටින ගමන් ටොන්ගයිය දුන්න උත්තර ටික අපේ හිත් වලටත් හොඳට වැදුණා. පස්සෙ කෝකටත් කියල ඉස්සර වුණේ මම. පැක් එකේ බර ටිකක් තිබ්බට මොකද බූට් දෙකේ සරණයි කියල හෙමින් සැරේ අදාළ තැනට කිට්ටු කළා…

“හත් ඉල්ව්වයි! මෙතනින් යනව කියන්නේ…”

කතාබහ නතර වුණේ ඉබේටම වගේ. ඉස්සෙල්ලම වට පිට බලල පොළවෙ මුලක් පාදගත්ත. ඒක අල්ලගෙන වාරු ගත්තට මොකද…

එච්චරයි කියන්නකො මතක!

 

“ම්…හ් හා…”

ගත්ත හුස්ම පල්ලෙහාට දාද්දි යාන්තම් මරු කට පැනල. ටොන්ගයිය ආයෙ රෝල් වෙයි කියල බයට දසුන් මල්ලිත් මගක් ඇවිල්ල, ටොන්ගයියව ඇදල වගේ ගත්තෙ.

“එහෙනම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි”

එතන තිබ්බ පුස් වැලේ වාරුවෙන් උඩ කණ්ඩියට ගොඩවුන මම පොඩ්ඩක් වට පිට බැලුවෙ අපේ අනිත් කට්ටිය ගියපු තැනක් ගැන හෝඩුවාවක් තියද කියල බලන්න.

ඒත්, ඇස් දෙකට පෙනුන දේ…

 

කියල නිම කරන්න බැරි තරම්. සන්තෝසෙ ඉහ වහා ගියා කියන්නෙ පිස්සු හැදුණ ගානයි.

ඇත්තටම, ඔව් ඒ ‘ගෝනගල’, නොඉඳුල් ගෝනගලම තමයි.

ඈත කඳුපන්ති වලින් එපිටට වෙන්න මළ හිරුත් හෙමින් සැරේ අත වනනව. හරියට ගිහින් එන්නම් කියන්න වගේ. ඒ අතරට වලාකුළු තොගයක් අපිව වට කරගෙන, පිළිගැනීමේ වේදිකාවට ආපු දේවතාවියො වගේ. ඒ ඔක්කොම අතරෙ, කරේ තිබ්බ බඩුත් හිතිච්ච හිතිච්ච තැන් තැන්වල දාලා, අපේ අය රිසි සේ තැන්න පුරාම ඇවිදිනව.

“කොටියා… මේං, උඹට වටින එකක්”

පඳුරු අතරින් බච්ච හෙමින් සැරේ මගේ පැත්තට කිට්ටු කළේ අතේ මොකක්දෝ ලොකු පොලු කෑල්ලක් වගේ එකක් තියාගෙන. කිට්ටු කරල බැලින්නම් ගෝන අඟක, මුලක් කියන්නකො.

“තෑන්ක්ස් බච්ච. මේක මගේ කබඩ් එකේ තියෙන තාක් කල් උඹවයි ටුවර් එකයි දෙකම, සදා මතකයෙ තමයි!”

“මා පුතා… ඇඳිරි වැටීගෙන එන එකේ නරකද කට්ටියත් එක්ක දර ටිකක් ළං කරගෙන කූඩාරම් ටික ඇටෙව්ව නං”

ගල්පොත්තෙ වාඩි වෙලා හිටපු මාමා මගේ කණට කරල වගේ කිව්වෙ, අනිත් කට්ටියගෙ විනෝදෙ කඩන්නත් මොකක්දෝ වගේ නිසා වෙන්න ඕන.

“ඒක ඇත්ත මාමා. මම කට්ටියට කියන්නම්. මාමා ඒ අතරට රෑ කෑම වැඩේ බලන්නකො, හොඳේ!”

අවංකයෙන්ම එහෙම කිව්වෙ උයන්න කම්මැලි කමකට නෙවෙයි. මාමගෙ අතින් ලූණු සම්බෝලයක් හැදුණත් එකේ රහට අපේ කෑමවල රසට කිටුටවත් කරන්න බැරි නිසා.

“ඩිලා, සංක අයියෙ… ඔයා කට්ටියත් එක්ක ගිහින් දර වැඩේ බලනවද? මමයි කරයි ටෙන්ට් ටික ගහල සයිට් එක ලෑස්ති කරන්නම්. ආ.. ඒ අතරට කවුරුහරි මාමාටත් සපෝට් එකක් දෙන්න හොඳේ, උයන්න”

වැඩේ සෙනිකව බැලන්ස් කරපු මම කරා එක්ක භූමිය පරීක්ෂා කරල, සුද්ද කරල ටෙන්ට් ටික ගැහුව. ඊට පස්සෙ කට්ටිය ගෙනැල්ල දාපු දර වලින් ලිපට හරියන ඒව අයින් කරල ගිණිමැලෙත් ලෑස්ති කලා. ඒ අතරට බච්චද කොහෙද ගල් ලිපකුත් අටවල. ඇත්තටම කට්ටිය දඩි බිඩි ගාලා ගේම ගහපු නිසා ඇඳිරි වැටීගෙන එද්දි අපිට කරන්න ඉතුරුවෙලා තිබ්බෙ කෑම උයන එක විතරයි. ඒකත්, මාමා හාල් එක හෝදල ලෑස්ති කරලනෙ තිබ්බෙ. ඉතින් පටස් ගාලා ලිප අවුලල බත් මුට්ටිය ලිපේ තිබ්බ.

“හ්හා…හ්”

කරා, ලොකු ඈනුමක් එහෙම ඇරල…

“දැන් නම් පොඩි නිදිමතකුත් එනව බං. ඒත් මේ අහසයි තරු ටිකයි දැක්කාම ගල්තලාවට වෙලා ඉන්නමයි හිතෙන්නෙ”

හදවතින්ම කතාව නම් ඇත්ත. මොකද එ් වෙද්දි කඳු මුදුනම මීදුමෙන් වැහිල ගිහින්. අහසත් තරු දාස් ගාණකින් හැඩවෙලා. එ් අතරට ගිණි මැලේ, ගිණි පුපුරුත් අහසට එකතු වෙන්නෙ, “අපි ඔයාලට, අහස තවත් ලස්සන කරල දෙන්නම් කියන්න” වගේ.

බත ඉදිලා, සෝයා තෙල් දැමුමෙ සුවඳ එනකම්ම කට්ටිය හුදෙකලාවෙ අාශ්වාදය උපරිමයෙන්ම වින්ද කියන්න ඕන තරම් සාක්ෂි ඉතුරුයි. මොකද පැයක් විතර යනකම් අතරින් පතර ඇහුණෙ පොඩි පොඩි සිදු කෑලි මිමිණෙනව විතරයි. ඊට පස්සෙත් ලොකු වෙනසක් තිබ්බෙ නෑ. දර ලිපේ හැදුණු බත් එකයි සෝයා එකයි, ගල් තලාව උඩ එලපු පොලිතින් උරයකට බෙදල, මාමටත් ලොකු කොටහක් අයින් කරල, කට්ටිය දඩ බඩ ගාලා වට වුණා. හැබයි දවාලෙ තරම් කලබලයක් නම් තිබ්බෙ නෑ. හෙමින් සැරේ කාලා, අත කට හෝදගෙන ඔක්කොම අස්පස් කරල තමයි ආයෙත් කතා බහට සෙට් වුනේ. මතකෙ හැටියට ඒ වෙද්දි වෙලාව 10ටත් කිට්ටුයි. කරා නම් කාපු ගමන්ම කූඩාරමේ. තව කීප දෙනෙක් කඩින් කඩ නින්දට වැටුණ. ඒත් සංක අයිය, ටොන්ගයිය, ඩිලා, දසුන් මල්ලි එහෙම හොඳ අවදියෙන්. උදෙන්ම යන්න ඕන නිසා අපි මාමවත් නිදි පැදුරට ළං කළා. ඊට පස්සෙ ඉතින්, දන්නෙ නැද්ද පොඩි පොඩි රස කතා ටිකක් හුවමාරු කරගන්න ගමන්…

“ඒකොටියා… මේකෙඅරස්ලෝකරල වීඩියෝගහන්නෙකොහොමද?”

සංක අයිය ටෙන්ට් රෙද්ද අස්සෙන් ඔළුව දාලා මොකක්දෝ අහනව.

“ඕකෙ එහෙම බෑ. අද වහල”

“ඒ කියපං !@#$%^&. මට අර, ඉර පායන එකේ පොඩි වීඩියෝ කෑල්ලක් ගහගන්න ඕන”

 

“හෑ… ඒ ඩිංගට එළි වෙලාද”

මාව උඩ ගියා. ඇයි අප්පේ නිදාගත්ත විතරනෙ.

 

දඩ බඩ ගාලා ටෙන්ට් එකෙන් එළියට ආපු මම වතුර උගුරු දෙකක් බීලා ඉස්සෙල්ලම කළේ සංක අයියට වැඩේ කියල දුන්නු එක. ඊට පස්සෙ ඇස් දෙක යාන්තම් ඇරල බැලුව වට පිටාව කොහොමද කියල.

ඇස්වහක් කටවහක් නෑ, පංකාදුයි! මුලු අහසම නිල්, දම්, රෝස, රතු, කහ, තැඹිලි… පාට තොගයකින් හැඩ වෙලා. ගල් උලට වෙලා අපේ කට්ටියත් හුරේ කියල ෆොටෝ ගහනව. ඒ හැටියටම නැතත්, කුරුල්ලන්ගෙ කීචි බීචියත් හතර වටින් ඇහෙනව. ඊටත් මීදුම් වළා අතරින් මුලු නකල්ස් කඳු පන්තියම පෙනෙද්දි… ඇස් දෙක අදහ ගන්න බැරි තරම්. ඈතින් ලකේගල, ඊට මෙපිටින්, තුන්හිස් ගල එතකොට දූවිලි ඇල්ලයි ඊට උඩින් කළුපාන තැන්නයි, ඊට පාමුලට වෙන්න රඹුක්ඔළුව ගමයි… හ්ම්ම්… එත් මොනව කරන්නද. තව ටිකකින් මේ හැම දෙයක්ම දාලා යන්න එපැයි. ටිකක් වෙලා කල්පනා සයුරෙ ගිලිල ඉඳපු මම, උදෙන්ම නැගිටල ෆොටෝ ගහපු කට්ටියට ටෙන්ට් අකුලන වැඩේ පවරල සංක අයියත් එක්ක ගියා තැන්නෙ ඇවිදින්න. ඇයි ඉතිං ආයෙ කවද එයිද කියන්න දන්නෙ නෑනෙ.

කොහොම හරි රවුම ගහල එද්දි මාමත් නැගිටල, යන්න ලෑස්තිය. බැක් පැක් ටිකත් කට්ටිය, ගෙනියන්න පුළුවන් ගානට පැක් කරල තිබ්බෙ. අනේ මන්දා.. හීං සීතලක් අතරින් ඉර අව්ව වැටිලා, පුදුමාකාර සනීපයක් ගතට දැනෙද්දි, කොහොම දාලා යන්නද අප්පේ…

“මා පුතා, අපි නොහිතුවට වෙලාව 8ටත් කිට්ටුයි. සුදුගල ඕඩෙන් බහින්නත් පැය දෙකක්, හමාරක් යනවනෙ. පය ඉක්මං කරමු එහෙනං”

සංකල්පනාවල අපි අතරමං වෙච්ච හැම වෙලාවකම, අපිව පියවි ලෝකයට ගෙනාවෙ අපේ මාමා. ආපහු ගමනෙදිත් ලොකු හයියක් වෙලා…

ලසාට කියල බැක් පැක් එක කරට දාගත්ත මම, කට්ටිය එක පෝලිමට ආපහු යනව ෆොටෝ එකක් ගන්න කියලයි පොඩ්ඩක් නතර වුනේ. ඒත් කොහෙද, ෆොටෝ ගහල, කට්ටිය පෙනී නොපෙනී ගිහිල්ල, ඒත් හිත නෑනෙ එක අඩියක් හෙල්ලෙන්නෙ. ලොකු හුස්මක් අරගෙන පහළට දාපු මම අමාරුවෙන් වගේ අඩියක් දෙකක් ඉස්සරහට තිබ්බෙ හදවතේ කොනක හැංගිච්ච පොඩි දුකකුත් නැතුවම නෙවෙයි.

 

කැමරාවත් අතේ… කලින් දවසෙ නැගපු ඕඩෙ, අමාරුම තැන් ටිකත් ඔහේ පහුවෙනව.

හිතින් මොනවදෝ… මුමුණ මුමුණ මමත් හෙමින් සැරේ පෝලිම අතරට ආවා. අපි පහළට බැස්සෙ, පළමුදා කෑම උයාගෙන කාපු වගුරෙන් පොඩ්ඩක් කැලේට වෙන්න. ඒක කරපිංච යායක්. හිස් වෙච්ච පොහොර මල්ලට දකින දකින ගහෙන් කරපිංච කඩල පුරව ගන්න මාමා…

“ඔහොම ඉස්සරහට යං පුතා. පාර වරදින්නෙ නෑ. මට මේ මල්ල පුරව ගත්ත නං ගමට ගිහින් බෙදුව හැකි. කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්නෙ”

කරපිංච යායෙන් පස්සෙ අපි ගොඩ වුණේ පයිනස් කැලේකට. ඒකෙදි නම් ලසාටයි ඩිලාටයි හොඳටම වැඩ. මොකද අතරින් පතර ඇඹුල් පේර ගස් සෑහෙන්න තිබුණනෙ. ඉතින් අපේ උදේ කෑම වේලත් බාගෙට වගේ, ඇඹුල් පේර වලින්ම ගොඩ ගියා. එතනින් ටිකක් පහළට බැහැගෙන එද්දි, අපිට හම්බවුණේ කොස්, පොල්, දෙල් වලින් සරු ගොඩ ඉඩම් කෑල්ලක්. අත ඇරල දාපු පරණ ගෙයකුත් එක්ක.

“පුතා… මේ, සුද්දගෙ කාලෙ තේ වැඩට ගෙනාපු දෙමළුන්ගෙ ලයිමක්. දැනට ඕක පාවිච්චි වෙන්නෙ දඩයක්කාරයො අතින් තමා. අහ්!… ඒක නෙවෙයි, අපේ වෙලාව හොඳයි. ආං බලන්න පුතා ජම්බෝල ගහේ ගෙඩි පිරීල තියෙන හැටි. කවුරුහරි ගොඩවුණා නම්… ”

කියද්දිම අපේ ලසා ගහේ මුදුනෙ. කිව්වට විශ්වාස කරන්න යාළු, එදා නම් ජම්බෝල කෑවා ආයෙ අවුරුදු ගාණකට පණු අමාරුව නොහැදෙන්නෙම. කොටින්ම කිව්වොත් අන්තිමට ගෙඩි හතරක්ද කොහෙද අරගෙනත් ආවා.

ඊට පස්සෙ අපි දිගමට වගේ ආවෙ ගඟ දිගේ. ඇවිල්ල, නාන තැනටම කිට්ටු කළා. කිට්ටු කළා විතරයි කට්ටිය පැක් ටික බාලා ඇඳන් ඉඳපු ෂෝට් පිටින්ම වතුරෙ. මටත් පනින්න හිතුණ. ඒත්…

මොකක්දෝ සාංකාවක් වගේ… හිතේ! මම හිතන්නෙ ගෝනගලේ ආශ්වාදයට තුරුළු වුණා මදිද කොහෙද.

හ්ම්ම්…! මොනව කරන්නද. කොයි දේත් ටික කාලයයිනෙ. කමක් නෑ… ආයෙත් එනව ඔන්න ඔහෙ.

පැක් එක පිටින්ම ගල්තලාවෙ වැතිරුණු මගේ ඇස් දෙකට, ඉර අව්ව කෙළින්ම වැටුණෙ නෑ. බැලින්නම් කුඹුක් ගහක අතු මට හෙවණ දීලා. කට්ටිය කෑ ගගහ නාන සද්දෙත් කණේ තිබ්බ වගේ. ඊටත් ඔයේ වතුර පාර සුදු පෙණ කැටි පොකුරු කර කර මාව පහුකර ගෙන යන හැටි…

ඇත්තටම, නකල්ස් නම්! හරිම පුදුම තැනක්.

නිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>