වයිරමට නම් වූ, පුල්ලියෙන් හැඩ වූ අපේ උරුමය!; ‘සිරිලක කොටියා’ නොහොත්, අප ස්වදේශීය දිවියා…

සිංහලය, ඉංග්‍රීසියට පරිවර්තනය වද්දී සිදුවූ විපත නිසාවෙන් නොවේ නම් ඌ අදටත් අපගේ දිවියාය. ඔව්, සැබවින්ම ඌ සිරිලකට ආවේණික වූ, අප ස්වදේශීය දිවියාය.

සැබවින්ම සිදුවූයේ කුමක්ද?

ඈත අතීතයේ පවා හෙළ බසෙහි කොටියාත් දිවියාත් දෙදෙනාම සිටියහ. නමුදු එකල ගැමියෝ දිවියා නමින් හඳුන්වන්නට පුරුදුව සිටියේ අප හොඳින් දන්නා හඳුනන, ශරීර ප්‍රමාණයෙන් කුඩා කැලෑ බළලුන්ය. එනම් Fishing Cat [හඳුන් දිවියා, කොළ දිවියා (Prionailurus viverrinus)], Jungle Cat (Felis Chaus) සහ Rusty Spotted Cat [වල් බළලා (Prionailursus rubiginous)]ය. බොහෝ විට ඒ, ඔවුහු සයුරෙන් එහා ජීවත් වූ ව්‍යාඝ්‍රයන් ගැන නොදැන සිටි නිසාවෙන් විය හැක. කෙසේ හෝ එ මුවාවෙන්, ශරීර ප්‍රමාණයෙන් විශාල අප පුල්ලි ධාරියා, නිරායාසයෙන්ම සිරිලක ‘කොටියා’ [Sri Lankan Leopard ] බවට පත්විය. නමුදු එ නම, 1956 වර්ෂයේ සත්වවේදී දැරණියගල මහතා අතින් ‘Panthera pardus kotiya’ (කොටියා) ලෙසින් විද්‍යාත්මකව තහවුරු වූයේ යම් වරදකින්දෝ යැයි විටෙක සැක පල වේ.

ඉදින්, අවසානයේ සිදුවූයේ 80, 90 දශකයන්හිදී ‘ලෙපර්ඩ්’ නම සිංහලයට පරිවර්තනය විමේදී, එය ‘දිවියා’ නොවී යළිත් ‘කොටියා’ ලෙසින්ම ජන වහරට හුරු වීමය.

නමුදු, අප කවුරුත් එහි නොදැකපු පැත්තක් ඇති බවට පැහැදිලි ඉඟියක් මතු කළ හැක. එනම් ‘කොටියා’ නම විද්‍යාත්මක නාමයට මුහු කරිමේදී දැරණියගල මහතා, හෙළ භාෂාවට අතිමහත් ප්‍රමුඛතාවයක් දුන්නාද? යන්නය.

කුමන අයුරින් හෝ, අද වනවිට අප ස්වදේශීය දිවියා දෙස් විදෙස් සැමගේ ආදරයට පාත්‍ර වූ සතෙක් වී හමාරය. කාලගුණික, දේශගුණික විපර්යාස සහ දෛනික ජීවන රටාවන් හමුවේ උගේ චර්යාවන් අධ්‍යයනය කිරීම, ඡායාරූපගත කරීම එහිලා ප්‍රායෝගික වූ ක්‍රියාවන් වේ. ඒ හැරුණු කොට දිවියන් සංගණනය කිරීම, ‘1938, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත’ වැනි නීති රෙගුලාසි යටතේ උන් සංරක්ෂණයට කටයුතු කිරීම සහ උගේ ජීවන රටාවන් පිළිබඳව අධ්‍යයනය කිරීමද නන් අයුරින් සිදුවෙමින් පවතී.

සැබවින්ම, අප කවුරුත් නොදන්නා මැයෙන්, IUCN වාර්තා වලට අනුව මේ වන විට සිරිලක දිවියාගේ ගහණය 850ත් 900ත් අතර ගණනක් වී ඇත. ඊට ප්‍රධාන හේතුව වන්නේ කැලෑ එළිපෙහෙළි කිරීම සහ වතු වගා ආශ්‍රිත ජනතාවන් අතින් ඔවුන් දඩයම් වීමය. 2016 වසරේදී පමණක් ලංකාව පුරා දිවියන් 9කට ආසන්න ප්‍රමාණයක් දඩයම්ව ඇති අතර 2000 වසරෙන් පසුව, මේ දක්වා දඩයම් වූ දිවියන් ප්‍රමාණය 35ක් බවට විශ්වාසවන්ත ලිපිගොනු රැසක් සාක්ෂි දරයි. තවද 2011 වසරේදී කරන ලද සංගණනයකට අනුව ලොව පුරා සත්වෝද්‍යානයන්හි, සිරිලක දිවියන් 75 ක් ජීවත්ව සිටින බවටද වාර්තාවී ඇත.

කෙසේ හෝ සිරිලක ප්‍රධාන විලෝපිකයා වන දිවියා IUCN, 2008 රතු ලැයිස්තුවට අනුව වඳවී යන ලැයිස්තුවෙහි ‘අන්තරායකර’ මට්ටමේ සිටිනා ක්ෂීරපායී සත්වයෙකි. මුවන්, වල් ඌරන් සහ වඳුරන් වැනි සතුන්ගෙන් ප්‍රධාන අහාර අවශ්‍යතාවය සපුරා ගන්නා මෙම මාංශභක්ෂකයා බොහෝ දුරට නිකරුණේ කාලය කා දමන්නටද ගජ හපනෙකි. ඌ නිබඳ, නිශාචරයකුය. දඩයමේ යෙදෙනුයේද පුර පසළොස්වක් පොහොය සති තුළය. ඒ හැරුණු කොට අළුයම සහ සන්ධ්‍යා කාලයේත්, ඉතා කුසගින්නේ නම් දහවලේදී පවා දඩයමේ යෙදන අයුරුද නිරීක්ෂණය කිරීමට හැකියාවක් නැත්තේම නොවේ. නමුදු බොහෝ විට දිවියන් දහවල් කාලය ගත කරන්නට පුරුදුව සිටින්නේ ගොදුරක් අැතිව හෝ නොමැතිව පලු, සියඹලා වැනි විසල් ගසක දෙබලකට වැද හිඳීමෙනි. දිවියාගේ දඩයම් ක්‍රියාවලියේදී මවු සහ පැටවුන් එක් එක් කාණ්ඩ ලෙසද වැඩිහිටි පිරිමි සතුන් තනි තනිවද දඩයමේ යෙදීමට පුරුදුව සිටී. තවද එහිදී මවු සහ පැටවු කාණ්ඩයන්ගේ වසම, තනි දිවියාගේ වසමට වඩා තරමක හෝ විශාලත්වයක් දරණ බවටද සාක්ෂි ඇත.

අප රට තුළදී දිවියන් සුලභව දැකිය හැක්කේ යාල සහ විල්පත්තු වනෝද්‍යානයන් හිදී වුවද මධ්‍යම කඳුකරයේ ශ්‍රීපාද අඩවිය, හෝර්ටන් තැන්න සහ නක්ල්ස් රක්ෂිතය ආශ්‍රිත ප්‍රදේශයන්හිදීද දිවියන් නිරීක්ෂණය කිරීමට හැකියාව ඇත. කෙසේ නමුදු ලෝකයේ අඩුම වපසරියක් තුළ වැඩිම දිවි ගහණයක් පවතින්නේ යාල වනෝද්‍යානයේ බැව් මෑතකදී එළිදැක්වුණු පර්යේෂණ වාර්තාවලින් සනාථ වේ. එ නිසාම, ගොදුරු බහුල වීම හේතුකොට ගෙන යාල තුළදී පමණක් දිවියන්ගේ තනි තනි දඩයම් ක්‍රියාවලීන් දැකගත හැකිය.

සාමාන්‍යයෙන් මෙරට වසන දිවියකුගේ වර්ධනය, වැඩිහිටි ගැහැණු සතකුගේ මුලු දිග (මුව සිට වලිගය දක්වා) අඩි 2 ½ සිට අඩි 3 ½ දක්වාත් වැඩිහිටි පිරිමි සතකුගේ දිග අඩි 3 සිට අඩි 5 ½ දක්වාත් පමණ වේ. බොහෝ දුරට ඔවුන්ගේ බර, ගැහැණු – කිලෝග්‍රෑම් 25-35ත් අතරද පිරිමි – කිලෝග්‍රෑම් 55-75ත් අතරද ය. එබැවින්ම වන්නට සිරිලක කොටියා, ලොව පුරා වෙසෙන දිවියන් උප විශේෂ 9 [අප්‍රිකානු දිවියා; Panthera pardus pardus, අමූර් දිවියා (රුසියානු); Panthera pardus orientalis, ආසියානු කුඩා දිවියා; Panthera pardus tulliana, ඉන්දියානු දිවියා; Panthera pardus fusca,  ඉන්දු-චීන දිවියා; Panthera pardus delacouri, ජාවා දිවියා; Panthera pardus melas, උතුරු චීන දිවියා; Panthera pardus japonensis, පර්සියානු දිවියා; Panthera pardus ciscaucasica, ශ්‍රී ලංකා දිවියා; Panthera pardus kotiya] අතරින් විශාලතමයා ලෙසද නම් කල හැකිය. තවද අනෙක් උප විශේෂයන් හා සමානව සිරිලක කොටියාද ලා-තද කහ පැහැති සම මතුපිට කළු පුල්ලි සහ කළු, තද කහ මල් පුල්ලි රටාවන් දරන්නෙකි.

බොහෝමයක් ක්ෂීරපායින් මෙන්ම දිවියාටද, අවුරුද්දෙහි වෙන්වූ අභිජනන සමයක් නැත. ඌ ඕනෑම කාලයකදී පාහේ පැටවුන් බිහිකිරීමට ඉඩ ඇති අතර වරකට එක් පැටවකු හෝ දෙදෙනකු බිහි කරයි.

ඓතිහාසික වශයෙන්ද සිරිලක දිවියා රට පුරා ව්‍යාප්තව සිටි බවට බොහෝ පුරාවිද්‍යාත්මක සාක්ෂීන් හමුව ඇත. නමුදු අවාසනාවක මහත නම්, එය අප හට එක් කරුණක් පමණක් වීමය. සැබවින්ම මදක් සිතා බලන්න. සිහියට නැගේවි, එවකට රට පුරා අණසක පැතිරූ ඔවුහු අද ඉතා කුඩා ප්‍රදේශයකට සීමා වී ඇති බව. එපමණක්ද? අප ඔවුනගේ වාසස්ථානයන් බලහත්කාරයෙන් උදුරාගෙන පසුව ඔවුනට දොස් පවරන බව, පීඩා කාරී උගුල් අටවා ඔවුන් අල්ලා නිජබිමෙන් නෙරපීමට කටයුතු කරන බව.

මිනිසුනි, මදක් සිතන්න! කල යුත්තේ කුමක්ද? ඔබ කරමින් පවතින්නේ කුමක්ද?

ඉතිරිව ඇත්තේ කෙටි කාලයකි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>