දුර ඈත ගිරි දුර්ගයක සැඟව, හෙළ ශිෂ්ඨාචාරයෙහි යට ගියාව කියා පානා.. කරඳගොල්ල, ‘කුරුල්ලන් ගලේ’ කතාව

“හෙළයිනට තිබූයේ අතිශය ප්‍රාථමික සිතුවම් කලාවකි. සජීවී සිතුවම් කරනයත්, වර්ණ භාවිතයත් අප හට දායාද වූයේ සංඝමිත්තා තෙරණිය සමඟ මෙරටට ආ ශිල්ප 18හි ප්‍රථිඵලයක් ලෙසිනි”

කුඩා කල මෙන්ම යමක් කමක් තේරෙන් කල්හි පවා අප පාසල් චිත්‍රාගාරය තුලදී එසේ ඉගෙන ගත්තද එහි සත්‍ය අසත්‍ය තාවය පිළිබඳ පැනයක් වර්තමානයෙහිදී පැන නගිමින් පවතී. මන්ද, මේ වන විට රට පුරා මුල් බැසගෙන ඇති ‘රාවණ’ රාවයත් සමඟ මතුවන අනේක විද පුරා විද්‍යාත්මක සාක්ෂි සාධකයන් නිසාවෙනි.

ඕස්ට්‍රේලියාවෙහි ‘ගැබර්න්මැන්ග්’ සහ ‘බ්‍රැඩ්ෂෝ’ සෙල් සිතුවම් වලටත් ඉන්දුනීසියාවෙහි ‘පෙට්ටාකෙරේ’ සහ ප්‍රංශයෙහි ‘චැඋවෙට්’ ලෙන් සිතුවම් වලටත් ලෝක සිතුවම් කලාවෙහි උත්පත්තියේ ගරු බුහුමන දෙමින්, ලෝකය, ඉතිහාසය හොබවද්දී අප සතුව මෙතෙක් කල් තිබූයේ වසර 4,500ක පමණ වූ සිතුවම් ඉතිහාසයක් පමණි. බොහෝ විට ඒ දොරවක, මොලගොඩ හෝ නැව්ගල සෙල් සිතුවම්ය.

නමුදු අග නගරෙයෙන් ඈත එක් ගිරි දුර්ගයක සැඟව හිඳ හෙළ ශිෂ්ඨාචාරයෙහි යට ගියාව කියා පෑමට වෙර දරන ශිලා පවුරක වූ පරිණත සිතුවම් පෙළක් දැන් අප සතුය. ඒ, ඇල්ල-වැල්ලවාය, කරඳගොල්ලේ, ‘කුරුල්ලන්ගල’ සෙල් සිතුවම්ය.

කුරුල්ලන්ගල පිහිටා ඇත්තේ මධ්‍යම කඳුකරයෙහි ගිණිකොනදිග බෑවුමෙන් තරමක් ඔබ්බට වනන්නට පිහිටා ඇති පූනාගල කඳු පන්තියේය. එනම් ඌව පළාතෙහි ඇල්ල සිට වැල්ලවාය දෙසට කිලෝමීටර 18ක පමණ දුරක් ගිය තැන්හි මුණ ගැසෙන උමා ඔය ව්‍යාපෘති මාර්ගයේ තවත් කිලෝමීටර 2කට ආසන්න දුරකින් පිහිටි කඳුකර වනාන්තරය තුලය.

අවාසනාවට මෙම කටුක වනගත මංපෙත හඳුනන්නේ පෙර එහි ලඟා වූවකු පමණි. මන්ද යත් කුරුල්ලන්ගල වෙත අඩි පාරකුදු හෝ නොමැත. ඒ හැරුණු කොට වන දුර්ගය ඔස්සේ මෙම ස්ථානය වෙත ලඟා වීමට ආසන්න පැය 3ක පමණ කාලයක්ද ගත වේ.

සැබවින්ම එය අතිශය වෙහෙසකර පා ගමනකි. පා ගමනේ මුල් භාගය සාමාන්‍ය වනාන්තරය මැදින් වැටී ඇති අතර ප්‍රථම සහ විශාලතම මර්මස්ථානය මුණ ගැසෙනුයේ කිලෝමීටරයක පමණ දුරක් ගමන් කල පසුවය. එය අංශක 85ක පමණ ආනතියකින් භූමියට ලම්ක වූ, උසින් මීටර 5කට ආසන්න වූ සෘජු ගල් කුලකි. එම ගල් කුල තරණය කිරීමට ඇති එකම ආධාරකය වනුයේ තැනින් තැන මතු වූ ගස් මුල්ය. නමුත්, පළපුරුද්ද ඇති අයෙකුට ගලෙහි පිහිටා ඇති කඩතොළුද ඒ සඳහා උපයෝගී කර ගැනීමට අවස්ථාව ඇත.

කෙසේ වුවද එතනින් ගොඩවී ගල් පැල්ම දිගේ මීටර 100ක් පමණ දුර ගිය පසු, තවත් එවැනිම උසින් මීටර 5ක් පමණ වූ ආනත ගල් කුලක් මුණ ගැසේ. එය තරණය කිරීමට සිදුවනුයේ ගල් කුල ඔස්සේ පිහිටා ඇති නුග වැල් කිහිපය ආධාරයෙනි. නමුත් එම නුග වැල් එන්න එන්ම දිරා, විනාශව යන බැවින් ඒවායෙහි එල්ලීමට පෙර හැකි අයුරකින් ඒවා පරීක්ෂා කර බැලීමට ඔබ මතක තියාගත යුතුය.

මේ සියල්ල අවසානයෙහි අවසාන මර්මස්ථානය ලෙසින් හමුවන ස්වභාවික පලංචියකින් එගොඩ වීමටද ඔබ හට සිදුවේ. එනම් ගල් පවුරක් දිගේ පිහිටා ඇති අඩියක පමණ වටප්‍රමාණයකින් වූ නුග මුල් 2ක් මතින් ගමන් කල යුතුය. මෙහිදීද එක් පසෙක මීටර 5-10 පමණ වූ හෙලත් අනෙක් පස ඇඟටම වූ ගල් කුලෙත් නිසාවෙන් ගමන ඉතාමත් අවදානම් සහගතය. පුරුදු පුහුණු ඇත්තකු මුලින් එගොඩ වී කඹයක් දමා අනෙත් අයට උපකාර කිරීම සැබවින්ම නුවණට හුරු වේ.

එ් අවසානයෙහි වන උස් ගල් පඩි කිහිපයද තරණය කොට ඉන්පසු මුණගැසෙන මාන ලන්දද පීරූ පසු ඔබට මෙම ඓතිහාසික සිතුවම් පවුරට ගොඩ වීමට හැකියාව ලැබෙනු ඇත.

දළ වශයෙන් මීටර 5කට වැඩි දිගකින් සහ මීටර 2කට ආසන්න උසකින් යුත් මෙහි ප්‍රධාන සිතුවම් පවුරත්, ඉන් ඉහලට ඇති සෘජු ගල් කුලත් සිතුවම් කරුවාගේ සිතුවමින් හැඩවී ඇත. කෙසේ වෙතත් මෙම ගල් පුවුරුව නිර්මාණය වී ඇත්තේ කන්දෙහි සිදුවූ යම් කිසි කඩා වැටීමක් නිසාවෙන් බැව් හොඳින්ම පැහැදිලිය.

සිතුවම්හි සාරංශය ගත් කල ඒවා සියල්ලම පාහේ සත්ව රූපයන් වේ. නමුත් ඒ අතර එකල දඩයම් කරුවන්ගේ ප්‍රභල ආයුධයක් වූ භූම රංගයට සමාන හැඩ තල කිහිපයක්ද පවුරේ වම් පසට වන්නට දක්නට ඇත. ඒ හැරුණු කොට දුන්නක් යැයි සැලකිය හැකි රූපයක්ද මෙම සිතුවම් අතර වේ. සත්ව රූප අතුරින් ඉතාමත්ම පැහැදිලිව දැක ගත හැකි වනුයේ මොණර, සෙබඩ සහ උකුසු කුලයට අයත් පක්ෂීන්ගේ රූපත්, කිඹුලකු යැයි අනුමාන කල හැකි උරගයකුගේ රූපත්, ගෝනකුගේ රූපයත් පමණි. මේ අතුරින් සුවිශේෂී සත්ව රූපයක් වනුයේ හිස පෙදෙස හරි හැටි හඳුනාගත නොහැකි වනසේ මැකී ගිය උල් සහිත පිටක් සහ වලිගයක් ඇති උරග රූපයයි.

තවද මෙම සිතුවම් දෙස වෙන් වෙන්ව බැලූ කල්හි එම එක් එක් සත්ව රූප ඇඳි පරිමාණයන්, සජීවී සතුන්ගේ පරිමාණයන්ට බොහෝ සමානකම් දක්වන බවද වැටහෙනු ඇත. ඒ අනුව ගත් කල කොණ්ඩ කුස්සකු බවට අනුමාන කල හැකි පක්ෂි රූපයක් සහ තාරා හෝ පාත්ත කුලයට අයත් පක්ෂියකුගේ රූපයක් ඇතුළුව තවත් බෝහෝ හඳුනාගත නොහැකි උරග, ක්ෂීරපායී සහ කුරුළු රූපයන්ගෙන් කුරුල්ලන් ගල සිතුවම් පවුර සමන්විතය. සතුන්ගේ ශරීර මතු පිට, චතුරස්‍ර, වෘත්ත, ත්‍රිකෝණ ඇතුළු නොයෙක් විද හැඩ තල සහ රටා භාවිතා කරමින් එම රූපයන් තව තවත් විස්තර කිරීමට සහ අලංකාර කිරීමට තරම් පරිණත වූ මෙම සිතුවම් කරුවා සැබවින්ම සහජ හැකියා ධාරියෙක් බැව්ද නිසැකවම කිව යුතුය.     

රතු හල්කිරි පාශාණ  සහ තවත් ශාක ලාටු සාරයන් මිශ්‍ර කොට සාදාගත් ශිවන්ගුරු තීන්ත පමණක් භාවිතා කරමින් ඇඳ ඇති මෙම සිතුවම් බොහොමයක ශීර්ෂයන් පහතට සිටින අයුරින් ඇඳ තිබීමට හේතුව හරි හැටි නීර්ණය කිරීමට නොහැක. නමුත්, එමගින් යම් කිසි කථාවක් නිරූපණය කිරීමට උත්සාහ ගත්තා යැයි නිගමනය කල හැකිය.

පිටස්තර සිතුවම් කලාවක මුහුම් විමක් කිසි සේත්ම පිළිබිඹු නොකරන කුරුල්ලන් ගල සිතුවම් අතරේ දක්නට ඇති අත්සන් තැබීමේ ක්‍රමවේදය ආජන්ටිනාවෙහි ‘කුඑවා දෙ ලාස් මානෝස්’ හෙවත් ‘අත්සන් ගුහාවෙහි’ සහ ඉන්දුනීසියාවේ ‘මාරෝස්හි ගුආ ටෙවෙට්’, ‘ජීවිතයේ ශාකය’ නැමති සිතුවමෙහි අත්සන් තැබීමේ ක්‍රම වේදයනට ඉතා සුළු වශයෙන් සමානවේ. එනම් අත්සන් ගුහාවෙහි සහ ගුආ ටෙවෙට්, ජීවිතයේ ශාකයෙහි දක්නට ඇති, වම් අත ශෛල බිත්තිය මත තබා පිටත තීන්ත ගැල්වීම (ස්ටෙන්සිල්) ක්‍රම වේදය වෙනුවට සෘජුවම වම් අතෙහි තීන්ත ගල්වා ශෛල බිත්තියෙහි සලකුණු කර තිබීමයි.

මීට වසර 9000ක සිට 13000 දක්වා පැරණි බවට ගණන් බලා ඇති අත්සන් ගුහාවෙහි වන අත්සන් සහ මීට වසර 40000ක් පමණ පැරණි බවට ගණන් බැලූ ගුආ ටෙවෙට්, ජීවිතයේ ශාකයෙහි වන අත්සන් හැරණු කොට කුරුල්ලන් ගල සිතුවම් කලාවෙහි සිතුවම් රටාවට තරමක් හෝ සමාන සිතුවම් පවුරක තොරතුරු හමුවනුයේ චීනයේ මැලිපෝ කෝරළයෙනි. එනම් එහි වන විසල් ගල් කුලක ‘ශ්‍රේෂ්ඨ රජු’ තේමාව යටතේ ඇඳි ධැවැන්ත සිතුවමෙනි. එම සිතුවම් පවුරෙහි පිහිටුම බොහෝ දුරට පාහේ කුරුල්ලන් ගල සිතුවම් පවුරෙහි පිහිටුමට සමාන වන අතර ශ්‍රේෂ්ඨ රජු සිතුවමෙහි පහත ප්‍රෙද්ශයේ දක්නට ඇති රටාවන් කිහිපයක් කුරුල්ලන් ගල සිතුවම් අතරේද දක්නට ලැබීම සුවිශේෂී කරුණකි.

වසර 4000 ඉතිහාසයක් කියාපාන ශ්‍රේෂ්ඨ රජ‍ු සිතුවම හැරුණු කොට තවත් එක් සිතුවම් පෙළක පමණක් කුරුල්ලන් ගල සිතුවම් පෙළ සමඟ සැසඳෙන සමාන කම් කිහිපයක් දක්නට ඇත. ඒ වසර 3000ක ඉතිහාසයක් කියාපාමින් තායිලන්තයෙහි ‘ඵා ටඑම්’ ජාතික උද්‍යානයෙහි ඇති ‘ධැවැන්ත මෙකොන්ග් කැට් ෆිෂ්’ගේ රුව ඇතුළු අනෙක් සත්ව රූප කිහිපයෙහි සහ මනුෂ්‍ය රූප කිහිපයෙහි දක්නට ඇති සිතුවම් කරනය සහ වර්ණනය වේ.

ලොව විවිධ ප්‍රාග් ඓතිහාසික සිතුවම් සමඟ එලෙසින් වූ සුළු සමානකම් පැවතුනද කුරුල්ලන් ගල සිතුවම් මුළු මනින්ම දේශීය ආභාශයකට අනුව නිමවුනා යන්නට කිසිදු සැකයක් නැත. මුහුදු මට්ටමෙහි සිට මීටර 1500ක පමණ උසක පිහිටා ඇති මෙම සිතුවම් පෙළ ලොව අනෙක් ප්‍රාග් ඓතිහාසික සිතුවම් පිහිටා ඇති ස්ථානයන් සමඟ සැසඳීමේදී මධ්‍ය ස්ථානයක් දිනා ගනී. නමුදු මෙරටින් දැනට හමුව ඇති සෙල් සිතුවම් අතුරින් මුහුදු මට්ටමෙහි සිට වැඩිම උසක පිහිටා ඇත්තේ කුරුල්ලන් ගල සිතුවම්ය.

ජන වහරෙහි සඳහන් වන ‘බහිරව කුරුල්ලා’ නැමති විසල් විරූපී කුරුල්ලකුගේ සංකල්පය ඉතා ගුප්ත අයුරින් කුරුල්ලන් ගල ආශ්‍රිතව මුල් බැසගෙන තිබෙනුයේ එම ස්ථානය නිරීක්ෂණය කලවුන්ගේ නොසැලකිල්ල නිසාවෙනි. දවස මුළුල්ලේම පාහේ එහා මෙහා සැරිසරමින් නද දෙන ‘ශාහින් කුරුළුගොයි’ ජෝඩු දෙකක් පැහැදිලිවම දැක බලා ගත හැකි කුරුල්ලන් ගල ගිරි ශිකරයෙහි අපූර්වත්වය හෙළිදරව් වනුයේ එහි සිතුවම් අතර ඇති කුරුළු ගොයින්ගේ ‘වී බෑවීමෙහි’ හැඩතලයට බොහෝ දුරට සමාන සිතුවම නිසාවෙනි. එය හොඳින්ම පැහැදිලි වනුයේ අනෙක් සත්ව රූපයන් බොහොමයකගේ හිස් ඇති දිශාවට විරුද්ධව එම රූපය සිතුවම් කොට තිබීමෙන්ය.

 

මුළු මනින්ම ගත් කල ශේෂ වූ, නොවූ සහ වෙමින් පවතින සිතුවම් 100කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත කුරුල්ලන් ගල සිතුවම් පවුරෙහි කාබන් කාල නීර්ණයක් කිරීම අතිශයින්ම සාධාරණ වනුයේ මෙම සිතුවම්හි ඇති නොඉඳුල් භාවය හමුවේ සාපේක්ෂ යුග නීර්ණනය ඉතා අපහසු බැවිනි. තවද මෙම ස්ථානයෙහි වර්තමාන පිවිසුම පිළිබඳව සහ එකල වූවා යැයි සිතිය හැකි පිවිසුම් පිළිබඳවත්, නොයෙක් විද හේතූන් කිහිපයක් නිසා අප මෙහි සඳහන් නොකල කුරුල්ලන් ගල පාදකව පිහිටා තිබූයේ යැයි අනුමාන කල හැකි රාජධානියක සුළු නටඹුන් කිහිපය පිළිබඳවත් තව දුරටත් පිරික්සිය යුතුය. මෙකී නොකී සියළු සාධකයන් හමුවේ Hikes Lanka සිදු කළ නිරීක්ෂණයන්හි ප්‍රථිඵලයක් ලෙසින් මෙම සිතුවම් පවුර ආසන්න වසර 3000ත් 7000ත් අතර හෝ වසර 25000ට වඩා පැරණි විය යුතු යන්න අපගේ නිගමනයයි.

නිරන්තරයෙන් අව් වැසි වලට ගොදුරු වෙමින් ශේෂව යන මෙම ඓතිහාසික ස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා පුරා විද්‍යාඥයිනගේ හෝ අනෙකුත් වගකිව යුතු නිළධාරීනගේ අවධානය යොමුව නොතිබීම නම් සැබවින්ම දෙනෙතට කඳුළු ගෙනෙන කරුණකි. තවද වැළලී ගිය හෙළ ශිෂ්ඨාචාරයෙහි නූතන සම්ප්‍රාප්තියට බියව විදෙස් ගැති ඉතිහාසයකට වන්දනාමාන කරන්නන්ගේ බිඳුනු පතිවත හෙළි වීම අත ලඟ දැයි විටෙක අප හට හැඟෙනුයේ මෙවන් වූ සොයා ගැනීම් වසන් කිරීමට, අනේක විද අඳෝනාවන් මාධ්‍යය තුලින් තිරගත වෙද්දීය.

ස්තූතිය: කරඳගොල්ලේ සුගතරංසි හිමි වෙත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>