දුම්බර මිටියාවතේ සැඟවුණු කඳුමුදුන් සොයා… 2; නකල්ස්: උඩතැන්නේගලින්, ගෝනගල තැන්නට පාගමනින්!

“චැහ්! වැස්ස දිගටම අල්ලයිද මන්දා. මේ කෝකටත් කියල කට්ටිය ජැකට්, රේන් කවර් ටික දාගෙන යමුද?” පොද වැස්ස, තද වැස්සට පෙරළෙන ගතියක් පේන්න තිබුණ නිසයි බඩවැටිය යටදිම මම කට්ටියට පොඩි අදහසක් දැම්මෙ. හැරත්, අපි තෙමුණට මාමව තෙමන්න බෑනෙ. මොකද මග පෙන්නන්න ඉන්න එකම මනුස්සය, යහතින් තියන්න ඕනනෙ.

දඩබඩ ගාලා බැක්පැක් ටික දිග අරපු අපේ කට්ටිය වතුරට ඔරොත්තු දෙන ඇඳුම් ආයිත්තම් ඔක්කොම එළියට ගත්තෙ දවසම වැස්සත් ගේමක් නෑ කියන්න වගේ. ඉස්සෙල්ලම ලොකු ආර්මි රේන්කෝට් එකක් මාමට. ඊට පස්සෙ අපිත් සයිස් බලල ජැකට්, රේන්කෝට් ටික හෙමිහිට ගළපගත්ත.

“හපෙ හප්පෝ පුතා. මේක මාර භාණ්ඩයක්නෙ. දැන් ඉතින් බලබල ඉන්න දෙයක් නෑ. හෙමිහිට පිටත් වෙමු” ආර්මි රේන්කෝට් එක ගැන මාමට තිබ්බෙ පුදුම සතුටක්. ඇයි ඉතින් වැස්සටයි සීතලටයි දෙකටම ඔරොත්තු දෙනවනෙ.

 

තද වැස්ස, පොද වැස්ස මාරුවෙන් මාරුවට අපිට කරදර කළාට නිතරම වගේ මුණගැහුන බඩවැටි, වැල්ගොමු නිසා වැස්සෙ කරදරේ ඒ හැටිම දැනුනෙත් නෑ. විශේෂයෙන්ම ලසාටයි, ඩිලාටයි එහෙම නම් දැනුනෙම නැති ගානයි. මොකද බෝවිටියා ලඳු අතරෙ හැංගුණු ඇඹුල් පේර ගස් දිහානෙ උන් දෙන්නගෙ අවධානය. කොහොම හරි ඒ වාසියෙන් කට්ටියට ගමන පුරාවට කැලෑ ගෙඩි වලින් අඩුවක් වුණෙත් නෑ.

“මා පුතාලා දිගටම තැන්නෙන් ගියොත් නම් අපිට උඩතැන්නේගල, හෙලට කිට්ටු කරන්න බැරි වෙනව. එහෙම වුණොත් වල්පොලමුල්ල වැවයි ඊට එපිටයිත් බලාගන්න බැරි වෙනව. ඒ නිසා අපි තැන්නට පහළින් බෑවුමට වෙන්න යමු” ඉදිරි ගමනෙ අවදානම, මාමා දැනෙන නොදැනෙන ගානට වචන වලට හැරෙව්ව. කොහොම වුණත් මොකද, ගමන නම් ගමන. මෙච්චර ආපු එකේ ඔතන මග ඇරල යන්න බෑනෙ. කට්ටිය හ්ම්… සද්දයක් නෑ, යක්ස ගැම්මෙන් ඉස්සරහට!

මගෙ මතකෙ හැටියට අපි හැරුණෙ කපුරු කුරුඳු, කහට ගස් ලන්දකින්. එතනින් එහාට දිගටම බෑවුම අල්ලගෙන තමයි ගියේ. කිව්වට විශ්වාස කරන්න යාළු, ඒ ගමනෙ නම් ඇඟේ ලේ නෑ. ඇයි අප්පේ මාන පඳුරු වැස්සට තෙමිල අම්බානක ලිස්සනවත් එක්ක. ඒ මදිවට හෙළත් අංශක 90ට කිට්ටුයි. අල්ලක් සයිස් එකට පාතින් පේන වල්පොලමුල්ල තැන්න දැක්කාම කකුල් දෙකත් හිරිවැටෙන ගානයි. වෙලාවට පොළවෙ පොඩි පොඩියට කට්ට හිටල තිබ්බෙ, මගෙ හිතේ ගෝන්නු ගිහිල්ල වෙන්න ඕන. අවංකයෙන්ම බැක්පැක්වල බරත් එක්ක එදා පොඩ්ඩක් එහෙට මෙහෙට වුණා නම්…

වාසනාව කියන්නෙ ඒ විදියට වැඩි දුරක් යන්න වුණේ නෑ. ටිකක් පිටිපස්සෙන් ගියාට මොකද, මට ඇහුන මාමා කියනව “පුතා, ඒකත් හරි ඒනං ඈ… අපි දන්නෙම නැතුව හෙලට කිට්ටු කරල ඉන්නෙ. ආං! ඈතින් ගෝනගලත් පේනව.”

 

ඒක ඇහුන විතරයි මම බැක්පැක් එක බෑවා නෙවෙයි, දැම්ම. දාලා තැනින් තැන පිහිටපු ගස් වලින් වාරු අරගෙන කිට්ටු කළා මාමා ඉඳපු ගල් උලට. “හප්පට බොල! ඇඬෙනව. වලාකුළින් හැඩවුණු තුන්හිස් ගලයි ඊට මෙපිට කළුපාන තැන්නයි… පුදුම ලස්සනක් තියෙන්නෙ. වේරගලට පෙනුන වගේ ඩබල්. වැස්ස නිසා කඳු මුදුන්වල විතරක් වලාකුළු ඉතුරු වෙලා අනිත් ටික නිල්කැටේට. හැබැයි වැහි අඳුර ඒ වෙද්දිත් තිබ්බ නිසා වෙන්න ඕන නකල්ස් කඳු පන්තියටම අමුතු ගුප්ත ගතියකුත් එකතු වෙලා. හරියට තෙත් කලාපීය ඝන වනාන්තරයක් වගේ. ඒ විතරක් නෙවෙයි දකුණු පැත්තෙන් පේන ගෝනගලත් මුළුමනින්ම මීදුමෙන් වැහිල. දැක්කාම ඇඟේ හිරිගඩු පිපෙන ගානයි. මට නම් මතක් වුණේම “දෙයියනේ… රෑ ජාමයක් මේ කන්දෙ ඉන්න එපැයි!”

කොහොම හරි මට වගේම අපේ බහුතරයකටත් ගමනෙ බැරූරුම ඒ වෙද්දි තේරුම් ගිහින් හිටියෙ. ඒත් වටපිටාවෙ ලස්සන, ඒ හැම සිතැඟියක්ම එයාලගෙන් උදුරගෙන. කට්ටිය ආයෙත් හුරේ කියල ෆොටෝ ගහනව. ඔය අතරෙ මාමා හතර වටින් පේන කඳු ටික ගැන පොඩි විස්තරක් කරන්න පටන් ගත්ත.

“පුතා, අර ගෝනගලට එපිටින්… ආං අර දැන් මතුවුණේ, මම ඊයෙ කියපු යකින්නිගල තමයි. ඕකෙ මහ අමුතු කතා ටිකක් තියෙන්නෙ. රෑ වෙන්ට කෑම්ප් එක ගැහුවාම කියන්නංකො. එතකොට එතනින් එහාට මා පුතා නුවර වත්තේගම, බඹරැල්ල පැත්තෙ බෑවුම් කඳු ටික. ඒ ගමන නම් ටිකක් දුරයි. ඒත් පුතාලයෙ හිතේ හයියට නම් දවස් 3ට විතර ඇද්ද හැකි.”

කතාව අතරෙ මගේ හිත යකින්නිගල ළඟ නතරවෙලා. ඇස් දෙකත් ඊට එපිටින් ගියේම නෑ. “ඕකටත් කොහොමහරි ගොඩවෙනව. ගොඩවෙලා අර කියපු මහ ලෙන් ටිකත් හොයාගන්නව.”

හිතේ තිබ්බෙ මහ, යෝධ අදහසක්. හැරත් වලාකුළු අතරින් සැරින් සැරේ එබිකම් කරන යකින්නිගල… ඒකෙ තිබ්බ ගුප්ත බව!

“අම්මප වෙන උන්ට බයක් ඇති වෙද්දි ඇයි යකෝ අපිට ආසවක් ඇතිවෙන්නෙ?”

හෙල කටේ නිසා වෙන්න ඕන කට්ටිය ෆොටෝ ගහල ඉවර වෙලා ආපහු යන්නයි ලෑස්තිය. කඳු අතරේ මංමුළා වෙලා ඉඳපු මම පියවි සිහියට ආවෙ ලසාගෙ තට්ටුවෙන්. බැලින්නම් අනිත් අය ඉස්සර වෙලා. “හ්ම්ම්…” ලොකු හුස්මක් පාත දාලා උඩතැන්නේගලට සමුදුන්න මම ආපහු කට්ටියත් එක්ක හෙමින් සැරේ ගමනට මුහුවුණා.

වෙලාව දවල් 1ට විතර කිට්ටු නිසා වෙන්න ඕන මෙදා පාර නම් මාමගෙන් හාවක් හූවක් නෑ. එක දිගටම ගමනෙ. අතරමග තැනක දෙකක නතර වුණෙත් තලා කොළ ටිකක් කඩාගෙන විටක් හපන ප්‍රමාදෙට විතරයි. හැබැයි ඉතින් ඒ වේගෙන් අපිට ලැබුණෙ ලොකු වාසියක්.

ඒක තේරුණේ පැයක විතර ගමනෙ අවසානය, ගෝනගල තැන්නට එද්දි එතන වතුර උල්පත් ඔක්කොම හිඳිල කියල දැක්කාම. කට්ටිය තුනට බෙදිල තුන් පැත්තකට ගියත් ආපහු ආපු කට්ටි දෙකකටම වතුර හම්බවෙලා තිබුණෙ නෑ. ඒත් මාමයි ඩිලයි ආපිට ආපු නැති එකේ නම් ලොකු සැකයක් තිබුණ. හූවක් දෙකක් තිබ්බ. ම්… හ්! කිසි නෑ… සද්දයක්.

“ලසා වරෙන්කො යන්න. මම බහිනව ලන්ද පැත්තට. මොකක් වෙලාද දන්නෙ නෑනෙ. මේ.. කෝකටත් ඔය මුට්ටියයි බෝතල් ටිකයිත් අරගනින්කො.” අතුරුදහන් වූවන් සොයා අපි දෙන්නෙක් මෙහෙයුමේ.

බාගෙට මැරුණ බෝවිටියා ගස් අතරින් අපි මීටර් 500ක් විතර පහළට බහින්න ඇති.

“හූ…” මම නිකමට වගේ හූවක් තියල බැලුව.

“හූ…” ආපිට හූවක්, හෙල පැත්තෙන්. හම්මේ යාන්තං ඇති. අඩිය ඉක්මන් කරපු ලසයි මායි දෙන්න හෙමින් සැරේ හෙලට බැස්ස.

මෙන්න බොලේ පොඩි වගුරක්. මාමයි ඩිලයි දෙන්න ඒක දිහා බලාගෙන කල්පනා කරනව මොකද කරන්නෙ කියල. ආයෙ මොනව බලන්නද. කැලේ වතුරනෙ. දෙයියො අපිට එහෙම කරන්නෙ නෑ. මේ වගේ ගමනකදි ලෙඩක් දුකක් දෙන්න තරම්!

“මාමා අපි ගස් පොත්තක් කපල වගුරෙ බැම්මකට ගහල වළකට වතුර එකතු කරගමු. ආයෙ හෙටත් ඇති හරියට පිරුනොතින්.” කැළේට හුරු මොකක්දෝ ජානයක් පත්තු වෙලාද මන්ද මට ආවෙ පංකාදු අදහසක්. ඔය අතරෙ මාමගෙ අදහස වුණේ වතුර තියෙන තැනම උයාගෙන කාලා හෙමින් සැරේ ගලට ගොඩවෙමුය කියල. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින්. අපේ අය, කෑම කිව්වාම ඉතින්…

ඒ වෙනකොටත් ලසා කන්දෙ බාගයක් නැගල.

“ඒ කොයි යන්නෙ?”

“ඉඳහන්, අරුන්ටත් කතා කරගෙන උයන පිහන බඩු ටිකත් අරගෙනම එන්නම්”

මුංට යකෝ…

කට්ටිය එකතු වුණා විතරයි මතක. එක තැනක දවස් ගාණකට ඇති වෙන්න දර. ඊට කිට්ටුවෙන් ගල් තුනේ ලිප. මුට්ටියටයි නෑඹිළියටයි අනිත් බෝතල් ටිකටයිත් වතුර පුරවල. කොහොම හරි හාල් එක ලිපේ තියන වැඩේ බාර ගත්තෙ මාමා. බලන් ඉන්න ආසයි යාළු මාමා හාල් ගරපු ගැරිල්ල. අවංකයෙන්ම එවෙලෙ තමයි මට හිතුණෙ කොළඹ ඉන්න ඈයො බඩුවක් මුට්ටුවක් අඩු වුණාම උයන්න කොච්චර කන්කෙඳිරි ගානවද කියල. ඒකට අපේ හෙළයො!

දර ලිප නිසා බත ඉදෙන්න විනාඩි 15ක් 20ක් විතර ගියා. හැබැයි බෑවට පස්සෙ? සුවඳම ඇති!

නිකම් බත් කන්න පුළුවන් ගානයි. හැබැයි එහෙමයි කියල කට්ටිය එළවළු මාළුවෙ වැඩේ අත ඇරියෙත් නෑ. සංක අයිය, ඩිලා, කරා එකතු වෙලා සෝයා, පරිප්පු කලවමක් හැදුව. ඕක අපේ පරණ මෙනුවක්. හැරත් මුළුමනින්ම කැලෑ මෙනුවක්. වැඩේ කියන්නෙ ඒකෙත් ආරම්භය මානිගල කියන්නකො.

හතර වටේම සුවඳ ගගහ අපේ කැලෑ වාඩියෙ කෑම ටික පළපු පොලිතින් උරයකට බෙදුණා. ආයෙ ඉතින් ඒවයෙ රස ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කට්ටිය වටේට, කැරකි කැරකි, වටේට කැරකි කැරකි බත් කන්දට වැඩේ දුන්නෙ. වැඩි හරියක්ම ටොන්ගයිය එහෙම.. හපෙ හප්පෝ..! ඉතින් විනාඩි 8ට 10ට බත් හැළිය හිස් වෙන එන අහන්නත් දෙයක්ද.

ටික වෙලාවකින් බලනකොට කාපු කාපු එකා තැන් තැන්වල වැටිල. බුදිමත අරිනව. වෙලාවෙත් පැයක වගේ වාසියක් තිබ්බ නිසා වෙන්න ඕන මාමත් ගමනට හදිස්සි කළේ නෑ. හැරත් ගෝනගල මුදුන පෙනි පෙනීනෙ.

ඕඩෙ දිගේ ගෝනගල මුදුනට! කඳුවුරු බැඳි රැයේ මතකයන් අද හෙට ම…

ස්තූතිය: සෙනේ මාමා.

2 Comments

  1. lasantha

    ඇයි අප්ප කිනිතුල්ලො අමතක උනාද

  2. Ayesha Premadasa

    please share the rest of the story.. it is interesting…so much to learn.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>