දුම්බර මිටියාවතේ සැඟවුණු කඳුමුදුන් සොයා…; නකල්ස්: මානිගල, වල්පොළමුල්ල කඩමගින්, වේරගල පාගමන!

“ඒ නැගපං නැගපං බං. බලපංකො 7ටත් කිට්ටුයි වෙලාව” කරාට හොඳටෝම මළ පැනල. මොකද 6ටනෙ පිටත් වෙනව කිව්වෙ. ඒත් ඉතින් දන්නැද්ද බැක්පැකින්ග් අඩුම කුඩුම ටික ලෑස්ති කරගෙන එළියට බහිද්දි වෙලාව පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවනෙ.

මෙදා පාර ගමන බස් එකෙන්. මොකෝ ගොඩක් පාරවල්වල බයික් එකේ ගිහින් හයික් එකටත් කලින් දෙපා ආමාරු කළානෙ. හැරත් මිනිස් පුළුටක්වත් යන්නෙ නැති, කොටින්ම කියනව නම් ගොඩවෙන්න පාරක්වත් නැති කඳු සෙට් එකකටනෙ අපි යන්න ඉන්නෙ.

ඉතින් ඔන්න දෙයියන්ගෙ පිහිටෙන්, සෙනවි මාමගෙ නාමෙන් කරදරයක් නොවේවා කියල හිතාගෙන කට්ටිය පිටකොටුවෙන් ගොඩවුණා මාතලේ බස් එකකට. ඒ වෙද්දි වෙලාව උදේ 9ට විතර ඇති. ලෝන්ග් වීක්එන්ඩ් එක නිසාද කොහෙද කොළඹ සිට නුවර දක්වා ඇත්තාවූ සියලු පාරවල්වල අම්බාන ට්‍රැෆික් බව තමයි අපිට පෙන්නුම් කළේ. ඒ අතරට තඩි බඩගින්නකුත් ඇවිල්ල. අතීත සිදුවීමක් නිසා බස් නවත්තන කඩවල් වලින් උපන්තේකට කන්නෑ කියල ඉඳපු අයත් එදා නම් වේවැල්දෙනියෙන් හොඳට කෑව. කිව්වට විශ්වාස කරන්න යාළු ඒ කෑමම තමයි මාතලේට ඇවිත් ඉලුක්කුඹුර බස් එකෙන් රත්තොට එනකමුත් තිබුණෙ.

සෑඳෑ කළුවර කුර ගගා එන අතරට බස් එක හිටිහැටියෙම රිවස්ටන් වලට ටිකක් පහළින් නතර වුණා. අපි හිතුවෙ තේකක් බොන්න නැවැත්තුව කියල. බැලින්නම්… හුළං ගිහින් කියන්නකො. ඒකත් හිත හදාගන්න තිබුණ බස් එකේ ස්පෙයාර් වීල් එකක්වත් තිබ්බ නම්. කරුමෙට ඒකත් නෑ. මම හිතුවෙම ටුවර් එකටම හුටා මාර්ක් එක වැටෙයි කියල. කට්ටිය මුලදි මුලදි මූණු එල්ලගෙන හිටියට මොකද එතන තිබ්බ කඩ පිළේ කාර්ඩ් ගහන්න සෙට් වුණාම නම් කඳු නැගිල්ලක හාංකවිසියක් නෑ. පැය බාගෙන් බාගෙට, එකම දෙයයි ඇහුනෙ.

“අක්කෙ තව ප්ලේන්ටියක් දාන්නකො”

“වෙලාවට බං පෝය දවස අල්ල ආවෙ. නැත්නම් මේ ටික පහුකරව නෙවෙයි ඉතින්”

අවංකයෙන්ම යාළු!, බස් එක හදාගෙන අපි රත්නින්දට එද්දි රෑ 9ටත් කිට්ටුයි. වැද්ද පැණි ඇල්ලෙන් එගොඩ වෙලා කට්ටියත් එක්ක දඩිබියට ඇටන්වල ගමට ගොඩවුණාට මොකද, හඳ එළිය වැටිච්ච වෙල් යායෙ ලස්සන දැක්කත් හරි කන්ද නැගල හති ඇර ඇර ආපු ඈයො, මෙන්න බොලේ කැමරා අරගෙන ෆොටෝ ගහනව. මළ අන්ධකාරෙ සෙල්ෆි විමානෙ මැද්දෙ, මම වචනයක් දෙකක් කියල ගමන ඉක්මන් කළා. “ඒ! 10යි යකෝ වෙලාව.”

මොකද කට්ටිය සෙනවි මාමලගෙ දිහාට ගිහින්, ඇඟ පත හෝදගෙන, කෑම ටිකක් කලා, පහුවෙනිදට ගෙනියන්න තියෙන අඩුම කුඩුම ටිකත් ලෑස්ති කරල, නිදාගන්නත් එපැයි.

කිව්වත් වගේ ගෙදරට ගොඩවෙන්න හම්බුනේ නෑ මාමා එනව ඉස්සරහට. “මයෙ පුතාලා! මොකෝ රෑ වුණේ”

“බස් එක හිට්ටනෙ මාමා රිවස්ටන් වලට පහළින්. වැඩේ කියන්නෙ උන් ගාව ස්පෙයාර් වීල් එකක්වත් නෑ. හයියෝ…” එතනින් එහාට කතාව, ආ ගිය තොරතුරු තොගයයි.

ඔය අතරට අපේ කට්ටිය එක එකා ගිහින් ඇඟපත හෝදගෙන, ඇවිල්ල කුස්සිය ගාව නතරවෙලා. බැලින්නම් හැලි වලං වලින්ම බෙදා ගෙන වැඩේ දෙනව. ‘ප්‍රමාදය සහ පසුතැවිල්ල’ කේස් එක වෙන්න කලින් මාත් පොඩ්ඩක් ඉක්මන් වුණා.

ෂප්පේ… සුදු හාලෙ බතයි, වට්ටක්ක මාළුවයි, සැමන් තෙල්දැමුමයි, බැදපු මිරිස් කරලුයි. ආයෙ කන කන එකා පැදුරෙ. කන කන එකා පැදුරෙ. මොකා වැටුණත් කාලා ඉවරවෙලා මම හරි බෑග් එක හදනවය කියල හිතාගෙන හිටියෙ. අන්තිමට මාත් ඩවුන් කියන්නකො!

“මා පුතා.. මා පුතා… නැගිලට කරල ලෑස්තිවුණා නම් හොඳ නේ? 6යි වෙලාව” උඩ ගිහින් ඇහැරුණේ.

“යාළුවන්ටත් කතා කරමු. නැන්ද කෑම පාර්සල් ටික ඔතනකම් ඔය බෑග් ටික ලෑස්ති කරගන්නකො. එළි වෙන්ට එළි වෙන්ට පරක්කු වෙනවනේ” පොල්ලෙන් ගැහුව වගේ යාළු! අම්මප කන්දට යන්න නැත්නම් උදේට කාලා ආයෙත් නිදාගන්නව. ඒ තරම් සැපයි මැටි පොළවෙ පැදුරක් දාගෙන නිදාගන්න එක.

අමාරුවෙන් අමාරුවෙන් නැගිට්ටට මොකද කට්ටිය අතින් දඩි බඩගාලා බෑග් ටික නම් ලෑස්ති වුණා. මාමත් සරම කැහැපොට ගහගෙන එයාගෙ අඩුම කුඩුම ටිකත් පොහොර උරේක දාගෙන, වැඩේට ලෑස්තියි.

“ඒ… අපි ගිහින් එන්නම් එහෙනම්” මාමගෙන් නැන්දට ආදරණීය සමුදීමක්!

“හ්ම්ම්… හොඳයි අපෙ මහත්තය”

ගමනෙ ආරම්භයම ඒ තරම් ගැම්මෙන් පටන් ගත්තට පස්සෙ ඉතින් කැලේ කොලේ එක්ක හැප්පෙන්න ආයෙ මොකටද අමුතු හයියක්. මානිගලට යන පාරෙ වල්පොළමුල්ලට හැරෙන තැන වෙනකම් කට්ටිය ඇද්දෙ එක ගැම්මට. කඩමග ළඟ නතරවෙලා වතුර ටිකක් එහෙමත් බීලා මමා හපන්න ගත්තු තලා කොලයකුත් කටේ දාගෙන… කට්ටිය ආයෙත් ගමනෙ. ඔය අතරට එකා දෙන්න කලින් පාර පුරුද්දට කකුල බලනව, කූඩැල්ලො එල්ලිලාද කියල. ඇයි දූවිලි ඇල්ල ටුවර් එකේ කූඩැල්ලො කරේ ඉඳන්නෙ. ඒ මදිවට නයෙකුත් පැන්න ගහන්න. හප්පෝ… ඒ මතකයන්!

පාරෙ පුරුද්දට දන්නෙම නැතුව කඩමග ළඟටත් ඇවිත්. “මා පුතාලා ගහට අත්තක් එල්ලල වැඳල හිටිය නං”

නොදන්න පාර නිසාද කොහෙද මාමාම ඉස්සරවෙලා කහට අත්තක් ගහේ එල්ලල වැන්ද. ඊට පස්සෙ අපේ කට්ටිය පෝලිමට.

“පුතා, මෙතනින් තමා ගොඩ වෙන්න තියෙන්නෙ. පේනවනෙ පාර. ලේසි වෙන එකක්නම් නෑ මයෙ හිතේ!” මළ කෙළියයිනෙ. මාමා ‘පාර’ කිව්වට පාරක් තිබ්බෙ නෑනෙ බොලේ. නිකම් මාන පඳුරු ගාලක් මැද්දෙන් සත්තු ගියපු අඩි පාරක්. හැබැයි දෙයියනේ කියල එකෙක් නෑ මූණට මූණ බලාගත්තෙ. කට්ටියම ෆුල් ගේමෙ.

මාන ගාල පාදන පළවෙනි මන්න පාර මාමගෙන්. දෙවනියට හිටියෙ අපේ ටොන්ගයිය. පොරගෙත් තියෙනව ලොකු ඉරිඟු කපන පිහියක්. ඒක දෙපැත්තට වනන්න ගත්ත කියන්නෙ කිට්ටුවෙන්ම ගියපු කරා අඩියට දෙකට පස්සට පැන්නෙ නැත්නම් බඩුම තමා.

කිලෝ 8, 10 බැක්පැක් බරත් එක්ක තනි කෙළින් කන්ද අදිනව කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි. එ්කත් ගල නම් අවුලක් නෑ. තනිකරම මඩ පස්නෙ. අඩියෙන් අඩිය අපි පැය බාගෙකට එහා ගාටන්න ඇති.

“පුතා පාර හරි ආ… මේං ගල් ගුහාව. අපෙ අප්පලයෙ කාලෙ දඩයමේ ආපු උන් රෑට ලගින්නෙ මෙතනලු. හැබැයි මම අහල තියෙනව තව මහ ලෙනක් තියෙනවය කියල ගෝනගලින් එපිට, පාමුලට වෙන්න. බලමුකො බලමුකො, වෙලාව තිබ්බොත් ඒ පැත්තටත් කිට්ටු කරමු”. මාමා ලෙන ගැන විස්තරේ අපිට කියන ගමන් හෙමිහිට ලෙන් කටින් ඇතුළට බැස්ස. ඔය අතරට ඉතින් දන්නැද්ද මාත් ඔළුව දාලා පොඩි විපරමක් කළා.

“ෂප්පේ… ටොප් ලෙනක්. කිසි ගින්නක් නැතුව 4, 5 දෙනෙක්ට හිටියහැකි”. ඒත් කාලෙකින් පාවිච්චි කරල නැති නිසාද කොහෙද කොළරොඩු නම් පිරී..ල. ඒ මදිවට පුස් ගඳත් හොඳටෝම.

“යං මා පුතා. උදේ වුණාට මොකද ඈතින් වැහි අඳුරක් එන පාටයි. අඩි ඉක්මන් කරල වේරගලට ගොඩවී ගත්තෙ නැත්නම් ගමන අමාරු කරනව”

මෙදා පාර මට ඉස්සර වුණේ සංඛ අයිය. එයා තමයි අපේ ෆොටෝ ග්‍රැෆර්. ආයෙ කැමරාව අතට ගත්තාම සිහියක් පතක් නෑ හතර වටේටම කෙලිනව. හැබැයි ඉතින් එක අතකට ඒකත් වටිනව අප්ප. අන්තිමට ඉතුරු වෙන්නෙ ඔය ටිකනෙ. කොහොම හරි ඔන්න එක පේළියට මාමා, ටොන්ගයිය, සංකයිය, මම, ඩිලා, කරා, දසුන් මල්ලි, බච්ච, ලසා පෝලිමට ගමනෙ. වැහි සීතලත් එක්ක අපිට වතුර තිබහක් නම් ඒ හැටි දැනුණෙ නෑ. ඒත් බඩට නම් මොනව හරි ඕන කමක් දැනුණා.

කෙළින් කන්දනෙ ඔන්න ඔහෙ අදිනව. හිත හයිය කරගත්ත කට්ටිය අඩියෙන් අඩිය දිගටම ඉස්සරහට. ඒ අතරට අපි නගින පැත්ත කන්දෙ මූණත වගේ නිසා ඈත පේන අපූරුවෙ ෆොටෝස් ටිකකුත් වදිනව.

ඔය විදියට බට, මාන, බෝවිටිය ගාල් මැදින් තව පැයක් වගේ අදින්න ඇති. එක පාරටම මෙන්න බොලේ මාමා ඉන්නව මට මීටර 50කට විතර උඩින් ගලකට ගොඩවෙලා. මයෙ හිතේ අපි තැනට ඇවිත් වෙන්න ඕන.

ගලෙන් එපිට දකිනකම් ඉවසිල්ලක් නැති තැන මම කරාවත් තල්ලු කරගෙනමයි ගලට ගොඩවුණේ.

ස්… ඇස්වහක් කටවහක් වදින්න එපා, මගෙ අප්පේ… එපිට කඳු පන්තියෙ ලස්සන. ඒ මදිවට කඳු මුදුන් ටික වලාකුළුවලිනුත් පිරී…ල. හරියට අයිසින් කරල වගේ. අපිට ඉස්සරහින් පේන මානිගලත් වේරගල උසට සමාන නිසා තැන්නත් ඉමක් කොනක් නැතුව පේනව. ඒකෙත් ලස්සනම ටික තමයි ඈතින් පේන දූවිලි ඇල්ලයි මානිගල් තැන්නයි.

“තව ටුවර් එකක් දාගෙන රඹුක්ඔළුව පැත්තෙන් අර ටිකටත් ගොඩ වෙන්න ඕන බං” ගල් තලාවෙ උල් අයිනට වෙන්න ඉඳපු කරා හෙමින් සැරේ මට කියනව.

“හ්ම්ම්…”

පරිසරය රස විඳින අතරට මොන උත්තරද.

කොහොම හරි ඔය අතරට අපේ අනිත් කට්ටියත් පුළුපුළුවන් විදියට ෆෝන්, කැමරාවල මෙමරිය පුරවගත්ත. මාමත් ඉතින් දන්නැද්ද, පැත්තකට වෙලා, වතුර ටිකක් එහෙමත් බීලා, ඔන්න විටක් හපන්න ගන්න ලෑස්තිය.

අනේ මන්ද තලා කොළ වලට ඇබ්බැහි වෙනවද මන්ද, මාම විටක් හපනකොට මටත් හිතෙන්නෙම තලා කොළයක් එක්ක පුවක් කෑල්ලක් හපන්නනෙ. ඒ අතරට ලසා මගදි කඩා ගත්ත ඇඹුල් පේර වලු ටිකකුත් එළියට ඇද්ද. හප්පේ… බලන්න එපැයි කට්ටිය එක පොරේ එතන.

මතකෙ හැටියට අපි එතන පැය භාගෙකට කිට්ටුව ඉන්න ඇති. අනික නතරවෙන නතරවෙන තැන මාමත් මොකක් හරි රස කතාවක් කියන නිසා වෙලාව යනව තේරෙන්නෙත් නෑනෙ. ගමනෙත් තව සෑහෙන්න දුරක් යන්න තියෙන නිසා වෙන්න ඕන මාම සරම කැහැපොට ගහගෙන යන්නයි ලෑස්තිය.

“එහෙනම් පිටත්වෙමු පුතා. වැහි අඳුරත් අත ළඟනෙ. කොහොම හරි කරල උඩතැන්නේගලට මෙහා බඩවැටියට රිංග ගන්න ඕන. නැත්නම් තෙමෙන්නයි වෙන්නෙ”.

කට්ටිය ගල් තලාවෙන් නැගිටල ගස් අතරින් ආයෙමත් කැලේට. “සමුදෙන්නත් මොකක්ද වගේ අප්ප”. බැක්පැක් එක කරට දාගත්තට මම තාමත් එතන. ලසා ගස් අස්සෙන් පෙනී නොපෙනී යනකම්ම මම වේරගල මුදුනට වෙලා කල්පනා කර කර හිටිය.

අලුත් කඳු හොයන්න තියෙන අමාරුවනෙ. කමක් නෑ, කට්ටියත් එක්කගෙනම නොඉඳුල් කන්දකට ගොඩ වුනානෙ…!

‘වේරගලින් උඩතැන්නේගල හරහා ගෝනගල තැන්නට..!’

හෙට අනිද්දම බලාපොරොත්තු වෙන්න.

ස්තූතිය: සෙනේ මාමා.

One Comment

  1. Ayesha Premadasa

    superb artical. well enjoyed and more than that it is some thing to learn.also it has written like a story more than words.even we feels to have that experience for real.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>