සුන්දර ‘ඇල්ල’ පුරවරයේ සොඳුරුතම තැන් සොයා…; ඇල්ල අවට රැයක් ගතකරන්න කියාපු තැන් 3ක්

“හලෝ කරා…”
“කොටියා කියපන්”
“ඇල්ලටත් වැඩේ හරිලු බන්. එකෙක් බීලා, ඇල්ල රොක් එකෙන් වැටිලා කියන්නෙ. දැන් එතනත් නයිට් ගහල හමාරයි”
“නෑ…
ඇයි බන් මේ අපේ ගොන් යක්කු? මොන මීහරක්ද මන්දා. බලපංකො ඒකෙන් මේකෙන්, ඇවිදින්න කැමති එකෙක්ටවත් ආතල් එකක් ගන්න බෑනෙ. කාලෙකට, සෙට් පිටින් ගිහින් රඟල රඟලා මුලු හතර මායිමම විනාස කරල එනව. තව කාලෙකට…
අනේ මන්දා බං”

හ්ම්… කරාගෙ කෝල් එක ඉවර වුනත් හරි මගේ හිතේ ඇතිවුනේ පුදුම කල කිරීමක්. එක අතකින්, ලංකාවෙ නීතියත් පට්ට ගොන්. මෝඩ මිනිහෙක් මළා කියල අනිත් අයට ඒ තැන් තහනම් කරල හරියන්නෙ නෑනෙ. පැහැදිළි ක්‍රියා පිළිවෙතක් හරි ගස්සල දිගටම ගෙනියන්න ඕන. වැඩේ කියන්නෙ, ඕවා කතාකරල වැඩකුත් නෑනෙ ඉතින්. ලංකාවෙ, කෙරෙන දේවල් නොකෙරෙන දේවල් හොඳ හැටි දන්න නිසා, මම කල්පනා කලා ඔයාලට වෙන විසඳුමක් දෙන්න.

එහෙනම් කියවල බලන්නකො. පහළින් තියෙනව ඇල්ල පැත්තෙ ජෙනුඉන් විදියට නයිටක් ගහන්න කියාපු තැන් ටිකක්. හැබැයි එකක් මතක තියාගන්න. මේ හැමදේකම පැවැත්ම රඳා පවතින්නෙ ඔයාලගෙ හැසිරීම මත. ඒ නිසා ‘ෆන් එකට ප්‍රථම විනය’ තියාගන්න, හොඳද?

1. බඹරගම ඇල්ල

හිමිදිරියෙම ‘ඇල්ල රොක්’ කරුණා කරන අයට, හැන්දෑව ගතකරන්න කියාපු තැන. එහෙම නැතුව උදේ ඉඳන් ඇවිදල ඇවිදල, ගමනෙ අවසානය රාවණා ඇල්ල කිට්ටුවෙන් ඉවර කරන අයටත් බඹරගම ඇල්ල ලොකු අස්වැසිල්ලක් වේවි. මෙතනට ලඟාවෙන්න ක්‍රම දෙකක් තියෙනව. එකක් තමයි ඇල්ල රොක් මුදුනට ගොඩ වෙන තැන, දකුණු පැත්තට පිහිටපු පාර දිගේ ගිහින්, ඉස්සරහට මුණගැහෙන මාන කැළේ අඩි පාරෙන් අඹදණ්ඩේගමට යන එක. අඹදණ්ඩේගමට ගියාට පස්සෙ, ඔය පාර දිගේ පහළට බැහැලා, බඹරගම ඇල්ල මුදුනට සම්ප්‍රාප්ත වෙන්න පුලුවන්. හැබැයි මේ ගමනෙදි, අතරමග හමුවෙන අතුරු අඩි පාරවල් වැඩි නිසා මංමුලා වෙන්න තියෙන ඉඩ වැඩියි. අන්න ඒ නිසා, බඹරගමට යන්න තවත් පාරක් ස්වභාවධර්මයෙන්ම දීලා තියෙනව. ඒ තමයි ඇල්ල-වැල්ලවාය, ‘කරඳගොල්ල ඉස්කෝලෙට යන පාර’ දිගේ ගිහින්, ‘අඹ’ වතුයායෙ බංගලාව ඉස්සරහ තේ වත්තෙන් අඹදණ්ඩේගම ඔයට බහින පාර. එතන ඉඳන් ඔය ඉවුර දිගේ දකුණු පැත්තට ගියා නම් හරියටම හරි. ඒ යද්දි හමුවෙන එල්ලෙ පාළම පාමුලින් ඔයට බැහැලා දිගටම දකුණට යන්න. වැඩි දුරක් නෑ ඇල්ල මුදුනෙ ගල්තලාවට!

2. කුරුල්ලන්ගල ලෙන

ඇල්ල-වැල්ලවාය, උමා ඔය ප්‍රොජෙක්ට් එකට යන පාරෙ කිලෝමීටර 2ක් විතර ගියාම තමයි රක්ඛිත්තාකන්ද රජමහා විහාරයට යන, ප්‍රධාන පාර මුණගැහෙන්නෙ. පාරට හැරෙන තැන දකුණු පැත්තෙ ලොකු කැළයක් එහෙමත් තියෙනව. ඒත් කැළේ ගැන කියන්න කලින්, පන්සල ගැන විස්තරයක් කියල ඉන්නම්.

රාවණා යුගයට පවා නෑකම් කියන මේ ‘කන්දෙ විහාරය’, මුලුමනින්ම සමන්විත වෙලා තියෙන්නෙ ගල් ලෙන් වලින්. භාවනා කරන්න වගේම අපූරු ධර්ම කතිකාවකට මුල පුරන්නත් කියාපු තැන. මොකද පන්සලේ ලොකු හාමුදුරුවො, කරඳගොල්ලෙ සුගතරංසි හිමි, හිතට වදින්න බණ කියන්න හරිම දක්ෂයිනෙ. බාග වෙලාවට, කුරුල්ලන්ගල කැළේ, ලෙන් හොයා ගන්නත් ඔයාලට උදව් කරාවි. නැතත්, කරන්න තියෙන්නෙ මෙච්චරයි. පන්සලට හැරෙන අතුරු පාර ඉස්සරහ, කොස්ගහ ලඟින් කැළේට ගොඩ වෙලා දකුණු පැත්තට යන්න. ඒ යනකොට පුංචි ඔය පාරක් හමුවෙයි. ගොඩක් වෙලාවට මේ ඔය පාර හිඳිලා තියෙන්නෙ. ඒත් හොයා ගන්න අමාරු නෑ. කොහොම හරි ඔය පාර දිගේ කැළේ ඇතුලට, උඩ පැත්තට ගියා නම්, දකුණු අත පැත්තෙ කන්දට වෙන්න පිහිටල තියෙන ලොකු ලෙන හොයා ගන්න පුලුවන්.

3. විසාරි ඇල්ල

පරිස්සම බලල හරි බරි ගැහෙන්න ඕන තැනක්. මොකද පූනාගල කන්දට පොඩ්ඩක් හරි වැස්සොත් ඇල්ලට එන ඔය පාරෙ වතුර වැඩි වෙන්නෙ බලාගෙන ඉඳිද්දි. ඒ නිසා හොඳම වැඩේ තමයි ඉවුරෙ ගල් තලාවක ටෙන්ට් එක ගහන එක. නා කියාගන්න, කෑම ටික හදාගන්න ඕන කරන වතුර, දර, අඩුපාඩු ටිකත් අත ලඟම තියෙන නිසා බය නැතුව වැඩේට බහින්න පුලුවන්.

ඒ ගමන්ම කියන්නම්, විසාරි ඇල්ලට යන විදිය.‍ කරන්න තියෙන්නෙ ඇල්ලෙ ඉඳන් වැල්ලවාය පැත්තට යන බස් එකකට නගින එක. නැගල හුණුකැටිය හංදියෙන් බැහැගන්න. එතන ඉඳන් බඹරගස්යායට තියෙන්නෙ කිලෝමීටර 3යි. ලස්සන කුඹුරු යායක් මැදින් වැටුණු කොන්ක්‍රීට් පාර දිගේ ගිහින්, එතනින් එහාට හමුවෙන බන්ට් එකෙන් එගොඩ වුනා නම් ඇල්ල පාමුලට යන්න පුලුවන්. එතන සිරි අසිරිය හිතේ හැටියට විඳල, ආපහු එන ගමනෙ, පුංචි විදුලි බලාගාරය ලඟින් දකුණු පැත්තට, කන්දට වෙන්න පිහිටල තියෙන අඩි පාර දිගේ උඩට යන්න. ඒ යද්දි, දකුණු පැත්තෙ ගහක ගහල තියෙන බෝඩ් එකක් හමුවේවි ‘water fall on the way’ කියල. එතනින් කැළේට බැහැලා, උඩ පැත්තට වෙන්න දිය ඇල්ලට කිට්ටු කලා නම්, ඒ හැටි මහන්සියක් නැතුවම ඔය පාර හොයා ගන්න පුලුවන්.

ඒ හැරුනාම ඉතින් තව, අතිශය රහස්‍ය තැන් දෙක තුනකුත් තියෙනව. වැඩේ කියන්නෙ, ඒව ගැන කියන්න ටිකක් බයයි. මොකද හැමෝම එක වගේ නෑනෙ යාළු. අනික, ඇල්ල රොක් එකට, පුංචි ශ්‍රී පාදයට වෙච්ච දේ ඒ තැන් වලටත් වුනොත්? අපිත් වගකිවයුත්තො වෙනවනෙ. හැබැයි ඉතින් කාට හරි දැනගන්න ඕනම නම්, Hikes Lanka එකට කතා කරල අහගන්න පුලුවන්. එහෙම නැත්නම්, හොඳම වැඩේ තමයි අපි යන ටුවර් එකකට එකතු වෙන්න. එතකොට තැන බලා ගන්න විතරක් නෙවෙයි, ගස් කොළන්, සතා සීපාවා, වටපිටාවෙ පුරාතනය ගැනත් හොඳ හැටි විස්තර ටිකක් එකතු කරගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>